සමන් වික්‍රමාරච්චි
මහිලාවංශය පමණක් නොව සමන් කුමාරගේ සමස්ත සාහිත්‍ය වංශයම කියවන කෙනෙකු (වරදවා) වටහා ගැනීමට ඉඩ ඇති දෙයක් නම් සැම විටම ඔහු ලියන්නේ ලිංගික කාරණා පමණක්ය යන්නය. එනම් ඔහුගේ ලිවීම්වල කේන්ද්‍රීය තේමාව ලිංගිකත්වය බවය. සර්පයකු හා සටන් වැද, එසඳ මම බලා සිටියෙමි, සඳැල්ලෙන් වැටී මිය ගියහ ඔවුහු, ආසාත්මිකතාව ආදී කෙටිකතා පොත්වලින් සේම නෙරංජනේ ඉස්නානේ සහ මහිලාංවංශය යනාදී නවකතා තුළින් මතු කෙරෙන්නේ ලිංගිකත්වය පමණකැයි යන චෝදනාවෙන් සමන් කුමාරට ගැලවිය නොහැකිය.

ඇත්ත. මෙම කරුණ ඇත්තක්දැයි විමසා බැලිය යුතු තමයි. එහෙත් මෙහි දී අප පළමුව කිවයුතු දේ නම් මෙම ලිවීම කිසිසේත් සර්පයාගේ මහිලාවංශය හෝ ඔහුගේ අනෙකුත් කෘති පිළිබඳ සාහිත්‍ය විචාරයක් නොවන බවය. මෙහි දී සිදු වන්නේ අපගේ හැදෑරීම් සමන් කුමාරගේ ලිවීම් සමඟ ගැටෙන්නට ඉඩ හැරීමය. (පැරණි X කණ්ඩායම මීට බොහෝ කලකට පෙර හඳගමගේ තනි තටුවෙන් පියාඹන්න පිළිබඳ ලිව්වේ කෘතිය මේ තරම් නිසා නොව අපගේ හැදෑරීම් මේ තරම් නිසා යනුවෙනි.)

පසුගිය ලිපියේ දී සමන් න්‍යායිකව යාවත්කාලීන වී තිබේදැයි ප්‍රශ්න කරන විට මා කළේ ඔහුගේ දැනුමේ සීමාව සලකුණු කිරීමය. ඔහු බොහෝ කරුණු පිළිබඳ දැනුමැත්තකු නොවේ යයි ඉන් අදහස් නොකෙරේ. ඔහු ඉතා දුක සේ ගොඩනගා ගත් න්‍යායික දැනුම් සම්භාරයක් සහ දේශපාලනය සහ සාහිත්‍ය කලා පිළිබඳ තමාටම ආවේණික ප්‍රවේශයක් සහිත නිර්මාණකරුවෙකි. පසුගිය දිනෙක ඔහු රාවය පුවත්පතට (සම්මුඛ සාකච්ඡාවක දී) ප්‍රකාශ කර තිබුණේ තමා පාසල් පුස්තකාලයේ තිබූ පොත් සියල්ල මාස 3ක් ඇතුළත කියවා දැමූ බවය. මේ කතාව පැවසුවේ වෙනත් කෙනෙකු නම් එය පුරාජේරුවක් සේ සලකා බැහැර කළ යුතු හිස් ප්‍රලාපයකි. එහෙත් සමන් සම්බන්ධයෙන් එය එසේ යයි ගැනීමට මට නොසිතේ. ඒ ඔහුගේ දැනුම පිළිබඳ අඩමාන කල්පනාවක් අප තුළ නොමැති බැවිනි.
--------

එසේ තිබිය දී සමන් කුමාර න්‍යායිකව යාවත් කාලීන වී නැතැයි යනුවෙන් කළ ප්‍රකාශයෙහි අර්ථය වන්නේ ඔහු සියල්ල (විශේෂයෙන් ස්ත්‍රිය සහ ලිංගිකත්වය) ඥාන විභාගාත්මකව විසඳීමට වෑයම් කරන බවය. එනම් තමා උපයා ගත් දැනුම ආත්මීය ගැටලු විසඳීම සඳහා භාවිත කිරීමය. මහිලාවංශය යනු ලිංගිකත්වය සහ ස්ත්‍රීත්වය පිළිබඳ ගැටලු කේන්ද්‍රීයව ගත් නවකතාවකි. එහෙත් එම ගැටලුවලට ඥාන විභාගාත්මක (Epistenological) ප්‍රවේශයක් ගැනීම මෙහි දී ප්‍රශ්න කෙරේ.

මහිලාවංශය ආරම්භ වන්නේ ලිංගිකාර්ථ නගන අශ්ලීල ස්වප්නයක් පිළිබඳ විස්තරයකිනි. එහි ඇති පශ්චාත් නූතන ලක්ෂණය වන්නේ එය විශාල ප්‍රේක්ෂාවක් සඳහා නිල් සිනමා පටයක් විකාශනය වීම ලෙස දිග හැරීමය. තමාගේ නවකතාවේ කේන්ද්‍රීය තේමාව ස්ත්‍රීත්වය සහ ලිංගිකත්වය (Femininity and sexuality) බව මෙතන දී සමන් එළිදරව් කරන බව සැබෑය. එහෙත් ඔහු එය තම දැනුමට යටපත් වීමට ඉඩ හරින බව විශද වන්නේ එම සිහිනයට පුරෝකථනයක් ලෙස ඉදිරිපත් කරන මෙම විස්තරයෙනි.

“එම සිහිනයට සමරූපී තවත් සිහිනයක් මිහිමත කිසිවකුත් දැක නැති බවට යුදෙව්වන්ගේ සිට අහිගුණ්ඨිකයන් දක්වා ද බෞද්ධයන්ගේ සිට ක්‍රිස්තියානීන් දක්වා ද ආටිමිඩෝරස්ගේ සිට රෆායෙල් දක්වා ද ෆ්‍රොයිඞ්ගේ සිට ලැකාන් දක්වාද, යුංගේ සිට ෆ්‍රෝම් දක්වා ද සියල්ලම සාක්ෂි දරනු ඇත්තේය. මෙහි කතා නායකයා සිහින අර්ථ දක්වන්නා වූ එෆ්.එම්. නාලිකාවන්හි අසන්නන් අසන්නියන් කිසිවකුත් එවැනි සිහිනයක් දැක නැති බවට ද ඔහුට සහතික කොට කිව හැකි විය.”

මහිලාවංශය 13 පිටුව.

මෙම ඡේදය තුළ ඇති සමන්ගේ ඥාන ගවේෂණය විස්තර කර කීමට ඔහු හෂිත අබේවර්ධන සේවයේ යොදවයි. සිහින යනු කුමක්දැයි දැනුම් ඉතිහාසය විසින් එළඹ ඇති නිගමන එම ටිප්පනිය තුළ විස්තර වේ.
අපට මේ කරුණු සාකච්ඡා කිරීමට සිදු වී ඇත්තේ ෆ්‍රොයිඩියානු ප්‍රවාදවල කේන්ද්‍රීය තේමාව ලිංගිකත්වය බවත් එබැවින් ඔහු කළේ ලිංගිකත්වය තොරොම්බල් කිරීමකැයි (වරදවා) ගන්නා අමන මැට්ටන් අපමණවත් සිටින සන්දර්භයකය. (පරාක්‍රම කොඩිතුවක්කු එවැන්නෙකි.) එය හරියට ඩාවින් තම පරිණාමවාද ප්‍රවාද තුළ මිනිසා යනු වඳුරාගේ විකාශනයකැයි යනුවෙන් පවසා තිබෙන්නේ යයි කීම තරම්ම සාවද්‍ය ස්ථාවරයකි. ඩාවින්ගේ පරිණාමවාදයේ සැබෑ අර්ථය මිනිසා ඇතුළු සත්ව වර්ගයන්ගේ (Species) පහළ වීම ආපතික වූ (Contigently) සිදුවීම් ලෙස ගැනීමය. ඒ අයුරින්ම ෆ්‍රොයිඞ්ට අනුව ගතහොත් මිනිසාට තිරිසනුන්ට මෙන් ක්‍රමවත් ලිංගික ජීවිතයක් නැත. ඔවුන්ට තිබෙන්නේ විපරිත වූ ලිංගික ජීවිතයකි. මිනිසුන්ගේ ලිංගික ජීවිතය දැනුමින් තේරුම් කිරීම (Epistemologically) වෙනුවට සත්භාවමය (Ontological) ක්‍රමවේදයක් ෆ්‍රොයිඞ් භාවිත කරන්නේ එබැවිනි. සත්භාවමය යන්නෙන් අදහස් වන්නේ අපගේ දැනුමින් පරිබාහිර දේ පවතීද යන්න පිළිබඳ විචාරයයි. එහි දී එළියට ගන්නේ දැනුම මඟින් යට ගසා තිබෙන කාරණාය.

ෆ්රොයිඞ් සොයා ගන්නා පරිදි මනුෂ්‍ය ලිංගිකත්වය යනු ගැටලුවකි. අන් කවර හෝ ගැටලුවක් ලිංගිකත්වය කේන්ද්‍රීයව ගනිමින් විස්තර කළ හැකි කිසිවක් නොවේ. ඇත්තටම නම් ෆ්‍රොයිඞ් සොයා ගන්නේ ලිංගිකත්වය යනු නෛසර්ගිකවම අර්ථ විරහිත දෙයක් බවත් සියලු මානුෂික අර්ථ දැක්වීම්වල අවසන් ක්ෂතිජය ලෙස නොගත යුතු කිසිවක් බවත් ඇලෙන්කා සුපැන්සික් (Alenka Zupancic) පවසයි.

මහිලාවංශය මෛථුන්‍යය තොරොම්බල් කරන්නේ එය සැබැවින්ම පවතින කිසිවක් සේ (වරදවා) ගනිමිනි. එහෙත් ෆ්‍රොයිඞ් ඔහුගේ Three Essays on the theory of sexuality (1905 නමැති වියමනෙහි මීට එරෙහිව නඟන තර්ක සාරාංශ කොට කිවහොත් මෙවැන්නකි. (මානුෂික) ලිංගිකත්වය යනු නොපවතින්නා වූ නියාම ධර්මයකින් පිට පැන ගිය විරුද්ධාභාස ආරූඪ කරගත් (Paradoxridden) කිසිවකි. ෆ්‍රොයිඞ් එහි ලා විස්තර කරන ලිංගික මුළාවක්(Sexual aberations) වූ කලී වෛද්‍ය විද්‍යා දැනුම විසින් ද හඳුනා ගන්නා සමලිංගිකත්වය, පුරුෂයන් අතර ලිංගික පැවතුම්, ළමා ලිංගික අපචාරය, අර්චනකාමය, නැරඹුම්කාමය, පරපීඩා කාමුකත්වය, ස්වපීඩා කාමුකත්වය ආදී විපරිත (Perverse) හැසිරීම්ය. මෙබඳු ලිංගික හැසිරීම්වලට වස්තුවක (Object) ඍජු සම්බන්ධයක් නැති අතර ලිංගික හැසිරීමෙහි අරමුණ සේ සැලකෙන වර්ගයා බෝ කිරීම ද මෙමඟින් සිදු නොවේ. සැබැවින්ම මේවා ලිංගික හඹා යාම්ය. (Sexual drives). ෆ්‍රොයිඞ්ට අනුව ලිංගික හඹා යාම් එහි වස්තුවෙන් ස්වාධීනව පවතින්නකි. එසේම එය පටන් ගැනෙන්නේ වස්තුවෙහි ආකර්ෂණයක් නිසා නොවන්නේය.

යට කී විපරිත ලිංගික චර්යාවන් න්‍යායගත කිරීම දැනුම් ඉතිහාසය තුළ අපට අනන්තවත් හමුවේ. කාම සූත්‍රය ලියූ වාත්ස්‍යායනගේ සිට හැව්ලොක් එලිස්, ඩෙස්මන්ඞ් මොරිස් යනාදී නූතනවාදී විද්වතුන් දක්වා මෙම න්‍යායගත කිරීම විහිදී ඇත. විශේෂයෙන්ම ඩෙස්මන්ඞ් මොරිස් මනුෂ්‍ය ලිංගිකත්වය වානර ලිංගිකත්වය සමඟ තුල්‍යව ගෙන විශ්ලේෂණය කරයි. සමස්තයක් වශයෙන් මහිලාවංශය (එහි අධිසත්තාවාදී නිර්මාණ ප්‍රවේශය හැරුණ විට) ලිංගිකත්වය පිළිබඳ යට කී න්‍යායගත කිරීම්වල නිර්මාණාත්මක ප්‍රකාශයක් ලෙස දැක්විය හැකිය. එහෙත් ලිංගිකත්වය පිළිබඳ ගැටලුව අපට ග්‍රහණය කරගත හැක්කේ සත්භාවාත්මක තලයකදීය.

සමන් කුමාරගේ ලිවීම් තුළින් ප්‍රකාශමාන වන්නේ සාහිත්‍යකරුවකු වීම නිසාම ජනිත වන අතිරික්ත විනෝදයයි (Surplus Enjoyment) ඔහු සාහිත්‍යය ලෙස ඉදිරිපත් කරන්නේ තමාගේම ජීවිතයයි. සාමාන්‍ය වශයෙන් සමන්ට මෙන් වෙනත් කෙනෙකුට මහිලාවංශය හෝ ඔහුගේ වෙනත් කවර හෝ සාහිත්‍ය කෘතියක එන ආකාරයෙන් ලිංගික කාරණා ලිවිය නොහැකිය. සමන් එය කරන්නේ නවකතාව, සිනමාව බඳු විපරිත කලාවක් බවට හරවා ගැනීමෙනි. වික්‍රමසිංහගේ ගම්පෙරළිය වූ කලී සැඟවගත් ලිංගිකාර්ථ සහිත අශ්ලීල නවකතාවක් වෙතත් එය හුදු සමාජ පෙරළියක ශිෂ්ට සම්පන්න කතාවක් බවට ඌනනය විය. එහෙත් එය සිනමාවට නැගීමේ දී ප්‍රබල ප්‍රේම කතාවක් බවට පරිවර්තනය කිරීමට ලෙස්ටර්ට හැකි වන්නේ සිනමාව විපරිත කලාවක් බැවිනි. සමන් සිනමාකරුවකු විණි නම් (නැතහොත් මහිලාවංශය සිනමාවට නැගිණි නම්) අපට ඔහු තුළින් හමුවිය හැක්කේ ලින්ච් කෙනෙකි.

සැබැවින්ම අප මහිලාවංශය ලිංගිකත්වය න්‍යායගත කිරීම්වල නිර්මාණාත්මක ප්‍රවේශය ලෙස ගත්තත් විරුද්ධාභාසික ලෙස එහි සත්භාවමය ලක්ෂණ අඩංගු කර ගනී. මොහාන් රාජ් මඩවලගේ Sex සමන්ගෙන් වෙනස් වන්නේ එතැනිනි. සමන් කුමාර ඒ අතින් ලිංගිකත්වයේ ආත්මීය ස්වරූපය ද ස්පර්ශ කරයි. ඇත්තටම නම් මොහාන් කරන්නේ සමීක්ෂණාදිය මඟින් දැනුම එකතු කර ඒවා විකිණීමට සුදුසු පරිදි සකස් කිරීමය. ඔහුගේ කෘතිවල
ලිංගිකත්වය (Sex) දෝරේ ගලන බව හැමෝම දනිති. ඒවායේ ලිංගික කරුණු තිබෙන බව කල් තබාම අපට දැනුම් දෙන්නේ මොහාන්ය. එහෙත් සමන්ගේ කෘතිවල එන ලිංගික කාරණා හමුවේ මොහාන්ගේ Sex මොනවාද! හැබැයි සමන්ගේ පොත්වල දෝරේ ගලන්නේ ස්ත්‍රී පුරුෂ රමණයට අදාළ කාරණා බව කියවන්නිය වටහා ගන්නේ ඒවා කියවාගෙන යද්දීය. ඔහු තමාගේ පොත්වල එබඳු ලිංගික කරුණු තිබෙන බවට කොහේදිවත් කියා නැත. ඇත්ත නම් සමන් ආත්මීය ලෙස තමාගේ ලිවීම්වලට සෑහෙන තරමින් ලිංගික බවය. මොහාන් ඒ තරම්ම
අලිංගිකය. හේතුව මොහාන් රාජ්ගේ ලිංගිකය Sex වාස්තවික දෙයක් වී තිබීමය.

බොහෝ විට ලිංගිකත්වය ක්‍රියා කරන්නේ ලිංගිකත්වය නොමැති තැනය. නැත්නම් ව්‍යාජ ලෙස ලිංගිකත්වය නැතැයි හඟවන තැනය. නිදර්ශනයක් ලෙස වාමාංශික දේශපාලන ක්‍රියාකාරීන් කටයුතු කරන්නේ අලිංගික (Asexual) සත්ව කොට්ඨාසයක් පරිදිය. එහෙත් අප හොඳින්ම දන්නා කරුණක් නම් වාමාංශික ව්‍යාපාර කඩා වැටෙන්නේම රහසිගත ලිංගික සබඳතා හෝ පෙම් සබඳතා නිසාය. (පැරැණි X කණ්ඩායමට සිදු වූ දේ ගැන දීප්තිගෙන් අහන්න) සයිමන් නවගත්තේගමගේ සාපේක්ෂණී නවකතාවේ කියවෙන විප්ලවවාදී ව්‍යාපාරය තුළ පවතින ලිංගික තහංචි නායකත්වයේ ලිංගික දුබලකම්වල ප්‍රකාශනයක් ලෙස දකී.

එහෙත් ධනේශ්වර දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂයේ එවැනි තත්ත්වයක් දුට නොහැක්කේ මන්ද? එහි පාක්ෂිකයන්ට හෝ නායකකාරකාදීන්ට ලිංගිකත්වය ප්‍රශ්නයක් නොවේ. ඔවුන්ට අවශ්‍ය පාක්ෂික භාවය (Loyalty) පමණකි. මින් අපට වැටහී යා යුතු දේ නම් දැනුම මඟින් ලිංගික ගැටලු විසඳිය නොහැකි බවත් ගෝලීය සංස්කෘතිය තුළ ඊට ඉඩ කඩක් නැති බවත්ය.

මෙහි දී කිව යුතු කරුණක් නම් ෆ්‍රොයිඩියානු අර්ථයෙන් යම් අවැසිතාවක් සංතෘප්ත කර ගැනීමට සමාන්තරව වෙනත් අතිරික්ත සංතෘප්තයක් ද ලබා ගන්නා බවය. මෙම අතිරික්ත තෘප්තිය හැම විටම ෆ්‍රොයිඩියානු ලිංගිකය සමඟ සම්බන්ධය. සංස්කෘතියේ උත්පාදක මූලාශ්‍රය (Generative Source) හැම විටම ලිංගික (Sexual) වන්නේ එම අර්ථයෙනි. මෙහි දී ලුබ්ධිය (Libido) පිළිබඳ ෆ්‍රොයිඩියානු සොයා ගැනීම (සර්පයා තම ලිවීම් තුළ නිරන්තරව තොරොම්බල් කරන) කාල් යුංග්ගේ (යුංගියානු) අර්ථ දැක්වීම්වලට පටහැනි වීම සහ මහිලාවංශය ලිවීමේ දී සමන්ට එය බලපා තිබෙන ආකාරය සොයා ගැනීම සඳහා අපට තව කාලය අවශ්‍යය.

නිසැකවම මහිලාවංශය යනු (පෙර කී පරිදි) ලිංගිකත්වය කේන්ද්‍රීය තේමාව ලෙස ගත් රචනාවකි. එහෙත් මෙහි ලිංගිකත්වය වූ කලී පාර්ශ්වීය වස්තූන් හඹා යන (Drives) අපරිපුර්ණ ලිංගිකාර්ථයකි. එනයින්ම හැම විටම එය විපරිතය. අප මේ දීර්ඝ ලිවීම තුළ අවධාරණය කළ පරිදි ෆ්‍රොයිඞ්ට අනුව වෙනත් ඕනෑම ක්‍රියාවක අතිරික්ත වූ ලිංගිකත්වයක් ඇත. එසේම එයට ප්‍රතිවිරුද්ධ ලෙස ලිංගික ක්‍රියාවන් අතරතුර වෙනත් දේවල් පිළිබඳ සිතීම ද සිදු වේ. මහිලාවංශයෙහි පළමු පරිච්ඡේදය රමණ ක්‍රීඩාව පිළිබඳ විස්තරයකි. එම රමණ ක්‍රියාව අතරට දැනුම් ඉතිහාසය කඩාවදී. එම පරිච්ඡේදය අවසන් වන්නේ මෙසේය.

“ඔබ අං කටුස්සා පිටුපස යනවා නම් 185 පිට පෙරළන්න ඔබ පැන්ටිය වෙත යාමට තීරණය කරන්නේ නම් 221 පිට පෙරළන්න.

ඔබ තිසර පට වෙත යාමට තීරණය කරන්නේ නම් 177 වන පිට පෙරළන්න.
173 පිටුව

ෆ්‍රොයිඩියානු අර්ථයකින් මෙය ලිංගික වෙතත් එය පාර්ශ්වීය වස්තූන් කෙරේ ඇලුන ලිංගිකමය හඬායාම් (Sexual Drives) රාශියකි. එහෙයින් එහි ඇත්තේ විපරිත ලිංගිකත්වයක් බව නොකිවමනාය. ෆ්‍රොයිඞ් මේවා නම් කළේ ලිංගික මුලාවන් (Sexual aberrations) නැතහොත් ලිංගිකමය නොමඟ යාම් ලෙසය. මහිලාවංශය පුරාම විස්තර වන්නේ අර්චනකාමී වූ එබඳු විපරිත චර්යාවන්ය. මෙම අර්චනකාමය (Fetishism) පයෝධරවල සිට, පුරුෂ ශිෂ්ණය දක්වා විහිදෙයි. පියයුරුම පසුබිම්කොට ගත් ලිවීමක් ‘පයෝධර පටට වග්ගෝ’ යනුවෙන් දැක්වේ. එම පරිච්ඡේදය (එය නවකතාවේ එක් පරිච්ඡේයක් නම්) ආරම්භ වන්නේ කොළඹ කවි සමය තුළ ලියවුණ මෙබදු කවි දෙපදයකිනි.

“ගිම්හානයේ ඒ දවසේ සුළඟ තදයි
ගසා ගිය ඇගෙ පියුරු පටිය යසයි”
177 පිටුව

කකසකු නමින් හැඳින්වෙන මෙහි කථකයා තමාට අසාමාන්‍ය ලෙස විශාල පුරුෂ ලිංගයක් තිබෙන බවට නිරතුරුව තොරොම්බල් කරයි. මෙබදු විපරිත ලිංගිකත්වයක් අප ෆ්‍රොයිඩියානු කියවීම් ඇසුරෙන් අර්ථ දක්වන්නේ කෙසේද?
ෆ්‍රොයිඞ් මෙම විපරිත චර්යාව එකවිටම දෙආකාර දිශානත වීමක් දකී. එක් අතෙකින් ඔහු පුළුල්ව පෙන්වා සිටින්නේ මේ ලිංගික මුලාවක් ආශ්‍රිත ක්‍රියා සම්බන්ධ වන යාන්ත්‍රණය “ස්වභාවික” නැතහොත් ‘සාමාන්‍ය’ යයි කියන ලිංගික ක්‍රියාව තුළ පවා දැකිය හැකි බවය. එනම් ලිංගික ක්‍රියාවේ දී පාර්ශ්වීය වස්තූන් කෙරේ ඇලීම අවශ්‍යය. එහෙත් එතැන දී ඒවා විපරිත කොට නොගැනෙයි. ඒවා විපරිත කොට සලකන්නේ ලිංගික වස්තුවෙන් (ස්ත්‍රිය හෝ පුරුෂයා) මුළුමනින්ම ස්වාධීනව පවතිමින් ඉන් අපේක්ෂිත අරමුණ (දරුවන් බිහි කිරීම) අත්හැර යෙදෙන විටය. එනම් කිසිදා අර්ථාන්විත අරමුණකින් තොරව එය පාර්ශ්වීය අරමුණ කෙරේම ස්වතන්ත්‍රව පැවතීමය.

දෙවනුව ඔහු පෙන්වා සිටින්නේ හඹායාම් (Drives) කැබලි වූ (pragmented) පාර්ශ්වීය ලෙස එහි වස්තුවෙන් වියුක්ත වූ කිසිවක් ලෙසය. ෆ්‍රොයිඞ්ට අනුව ලිංගික හඹායාම මුලින් එහි වස්තුවෙන් ස්වභාවිකව පවතින අතර එය හට ගන්නේ වස්තුවෙහි ආකර්ෂණය නිසා නොවේය. මෙම ෆ්‍රොයිඩියානු නිරීක්ෂණවලට අදාළ සංකල්පයේ මුල් විහිදුණ තැන් සෙවීම මෙතැන දී වටනේය. ෆ්‍රොයිඞ් ගෙන හැර දක්වන එක් උදාහරණයක් නම් ඇඟිල්ල ඉරීමය. ඔහු එය විශ්ලේෂණය කරන්නේ ළමා ලිංගිකත්වය ප්‍රකාශමාන වීමක් ලෙසය. ඇඟිල්ල ඉරීම කිරි ඉරීමට සමානව ආහාර අවශ්‍යතාවකින් සිදු වන්නක් නොවේ. මෙම මුඛ හඹායාම (Oral Drive) කිරි ඉරීමේ දී මුඛ පෙදෙස ලද සන්තර්පණය යළි සොයා ගැනීමකි. ඒ අනුව මුඛ සන්තර්පනය ආහාර සන්තර්පනයේ දී ලැබෙන අතුරු නිෂ්පාදනයකි.

ෆ්‍රොයිඞ් ලිංගිකත්වයට අදාළව කරන පැහැදිලි කිරීමක් නම් ලිංගිකමය යන්න කිසි විටෙක ලිංගෙන්ද්‍රයන් සමඟ පටලවා නොගත යුතු බවය. ලිංගේන්ද්‍රයන් ආශ්‍රිත ලිංගිකත්වය පූර්වජ නැතහොත් ස්වාභාවික ප්‍රපංචයක් නොවේ. එය ජනනේද්‍රයන්හි භෞතික වැඩීම සහ සංකේතික වූ සංස්කෘතික පරාමිතීන් ආශ්‍රිතව අවස්ථා කීපයක් පසුකර ගොඩනැගෙන්නකි. ආරම්භයේ දී දැකීම, අතගෑම, ලෙවකෑම වශයෙන් පාර්ශ්වීයව පැවැති
ලිංගික හඹා යාම් කිසියම් අවස්ථාවක ඒකාබද්ධ වීමකි. මේ ඒකාබද්ධවීම (Unification) එක් අතෙකින් බලහත්කාරී ලෙස කෘතිමව සිදු විය හැකිය. එසේම සියලු හඹායාම්වල එකතුවක් ලෙස කිසිවිටෙක එය සපුරා සාක්ෂාත් කර ගත නොහැකිය. මේ අනුව සාමාන්‍ය ස්වාභාවික මිනිස් ලිංගිකත්වය යනු සෑම විටම කෘතිම ලෙස ස්වාභාවික බවට පත් කරන ලද්දකි.

ඉහත විස්තර කළ සූත්‍රය මහිලාවංශය තුළට රැගෙන ආ විට අපට පෙනී යන්නේ විපරිත
ලිංගිකත්වය දිගින් දිගටම තොරොම්බල් කරන ලිවීමකි. බාගවිට මෙහි විස්තර වන ලිංගිකත්වය වෙන කවර හෝ දියුණු සාහිත්‍යයක දක්නට නැති සුමට නොවූ රළු ලිවීමක් බව බැලූ බැල්මට පෙනී යයි. ඔවුන් දෙදෙනා අතර ඇදී යන රමණ ක්‍රීඩාව අතර තුර කථකයාගේ මුවින් අශිෂ්ට අශ්ලීල වදන් පිටවේ. (මෙය ලෝරන්සියානු මැලෝර්ගේ මුවින් පිටවන නෝටින්හෑම් උප බසක ඇති අශිෂ්ට බව ද ඉක්මවයි) සැබැවින්ම කථකයා විස්තර කරන්නේ තමන් ආශා කරන දේ නොව වෙනත් කෙනෙකුගේ ආශාව පිළිබඳ තමන් සිතන දේවල්ය. එය ෆැන්ටාස්මතික වූ මායා ජාලයකි. එහෙත් අප ෆැන්ටසි යනුවෙන් හඳුනාගන්නේ තමන් ආශා කරන දේය. එබඳු ලිංගික ෆැන්ටසි පිළිබඳ විස්තර එලෙස රළු පරළු විය නොහැකිය මහිලාවංශයේ ලිංගික විස්තර රළු වන්නේ එම අරුතිනි.

ෆ්‍රොයිඞ් හඹායාම් ලෙස දක්වන්නේ මහිලාවංශය දිගින් දිගට තොරොම්බල් කරන ආකාරයේ පාර්ශ්ව වස්තූන් කෙරේ ඇලීමටය. කථකගේ දෑස වර්ණනා කරන කවියක (ඔබේ නීල චංචල කිඳුර දෑස) අපට හමුවන්නේ මේ හඹායාමය. ෆ්‍රොයිඞ් ලුබ්ධිය (Libido) යනුවෙන් හඳුන්වන සංකල්පය අදාළ වන්නේ එකී හඹායාම්වල දී භාවිත කරන ශක්තිය (energy) ගැන සඳහන් කිරීමටය. සංක්ෂිප්තව කියන්නේ නම් ලුබ්ධිය යනු යම් අතිරික්ත තෘප්තියක් (Supplimentary Safistaction) ලැබීමේ ක්‍රියාදාමයට අදාළව වැය කරන ශක්තිය. නිදර්ශනයක් ලෙස ඇඟිල්ල ඉරීම හුදු ආහාර අවශ්‍යතාවකින් තොරව ශ්ලේෂ්මල පටලය (Mecus Memdrane) උත්තේජනය කිරීම සඳහා පමණක් යෙදෙන ක්‍රියාවක් වේ. නිසැකවම ෆ්‍රොයිඞ්ට අනුව මේ උත්තේජනය ලිංගිකය.

ලිංගික සංසර්ගය නියමානුකූලව ලිංගික වන්නේ එබඳු විවිධ පාර්ශ්වීය හඹායාම් (Drives) එකතුවෙනි.
නිරන්තරවම සර්පයාගේ සම්භාවනාවට ලක් වන කාර්ල් යුන්ග් (Carl Jung) ෆ්‍රොයිඞ්ගෙන් වෙනස් වන්නේ මෙතනදීය. යුන්ග් ලබ්ධිය නම් වූ ෆ්‍රොයිඩියානු සංකල්පය භාවිත කරන්නේ ඊට වෙනස් අර්ථක් සපයමිනි. කාර්ල් යුන්ග්ට අනුව ලුබ්ධිය යනු ශාරීරික ශක්තියේ මානසික ප්‍රකාශනයයි. ඒ අනුව යුංගියානු ලුබ්ධිය වූ කලී මානසික ශක්තිය හැඳින්වීමට යොදන සාමාන්‍ය නාමයයි. එය ආරම්භයේ දී ලිංගික නොවන අතර එය ලිංගික විය හැක්කේ සමහර කලාපවල දී පමණකි. ලුබ්ධිය පිළිබඳ මෙකී යුංගියානු නිර්වචනය ෆ්‍රොයිඞ් භාරගන්නේ මෙතෙක් මනෝ විශ්ලේෂණය මඟින් දිනාගෙන ඇති සියල්ල පාවා දීමක් වශයෙනි.

ෆ්‍රොයිඞ් ලුබ්ධිය යන යෙදුම සමඟ මනුෂ්‍ය ස්වභාවයේ පවතින අසමතුලිත බව සලකුණු කරයි. කෙනෙකු තම අවශ්‍යතාව සපුරා ගැනීමෙන් ලබන තෘප්තිය සමඟ යම් අතිරික්ත තෘප්තියක්ද ප්‍රීනනය කරන බව ෆ්‍රොයිඞ් පෙන්වා දෙන්නේ එම අර්ථයෙනි. එය වූ කලී මූලික අරමුණින් බැහැර වූ ගමන් පථයකි. (Detour) ෆ්‍රොයිඞ්ට අනුව ලිංගික ලෙස පෙර තහවුරු කරන ලද ස්ථාවර වූ කිසිවක් නැත. ලිංගිකත්වය යනු මනුෂ්‍ය ක්‍රියාකාරිත්වයේ නැතහොත් ජීවිතයේ වෙනම විජිතයක් නොවේ. මනුෂ්‍ය ජීවිතයේ සියලු විජිත යන්හි (Domains) ලිංගිකත්වය පවතින්නේ එබැවිනි.
සමන්ගේ ක්‍රමවේදය වී ඇත්තේ ලිංගිකත්වය කේන්ද්‍රීයව ගත් ඥාන මීමංසාවකි.

මෙය ලිංගිකත්වය පැවැත්මේ (being) ලක්ෂණවලින් එකක් ලෙස නිශ්චය කර ගැනීමය. එහෙත් ෆ්‍රොයිඩියානු තර්කය එය නොවේ. ෆ්‍රොයිඞ්ට අනුව )පාර්ශ්වීය හඹායම්වල අසංගත වටලෑමක් සේ ගන්නා) ලිංගිකත්වය යනු පැවැත්මේ අසංගත බව මනෝ විශ්ලේෂණීය ලෙස නම් කිරීමය. මෙය ලැකාන් වහාම බදාගත්තේ ලිංගිකත්වය යනු රැඩිකල් සත්භාවවාදී අවුලක් (radical Ontological impasse) ලෙස ගනිමින්. අවිඥානයේ යථාර්ථය ලිංගිකමය යථාර්ථයක් ලෙස ලැකාන් හඳුන්වන්නේ එම අර්ථයෙනි. ඒ අනුව අවිඥානය යනු වාස්තවික යථාර්ථයක් විෂය මූලික අප රූපණයක් (Distortion) නොවේ. ඒ වූ කලී යථාර්ථයේම දෝෂයකි. නැතහොත් යථාර්ථයේ අසම්පූර්ණ සත්භාවමය වූ ගොඩනැංවීමකි.

අප මේ න්‍යායික කියවීම් සමඟ යළි මහිලාවංශය තුළට එබී බලන්නේ නම් අප දකින්නේ පාර්ශ්වීය වස්තූන් කෙරේ ඇලුන විපරිත ලිංගිකත්වය පිළිබඳ ෆැන්ටසි සවාරියකි. හේරුන්ඩ පක්ෂියා පිට නැගී යන මේ සංචාරය තුළ ඔවුන් (කුවේණිය සහ කකසකු) අසන දකින සහ යළි යළිත් වන පොත් කරන දැනුම ලිංගිකකරණය කෙරේ. මෙහි එන ඉතිහාස කතා, ජනකතා, වනකතා, චෝරකතා ආදී සියලු අධ්‍යයනයන්, කේන්ද්‍රීයවන්නේ
ලිංගිකත්වයටය. එය ද නිරන්තරවම පාර්ශ්වීය වස්තූන් කෙරේ ඇලුන ලිංගික හඹායාම්ය.

මෙහි එන ලිංගික සම්ඵපලාප (නිදර්ශන ලෙස 224 පිටුව ඔස්සේ කියවන්න) මඟින් සමන්
ලිංගිකත්වය ලෙස ගන්නේ විපරිත මිනිස් ස්වාභාවයයි. අනෙක් අතට ඔහු එමඟින් ස්ත්‍රිය ආත්මීයව වටහා ගැනීම කල් තබයි. සමකාලීන ස්ත්‍රියගේ දුරස්ථ බව ඉන් විශද නොවේ. ඔහු දිගින් දිගටම සොයමින් සිටින්නේ අසූව දශකයේ සාංදෘෂ්ටික පැවැත්ම තුළ මුණ ගැසුණ ස්ත්‍රියයි. සාංදෘෂ්ටික යනු (සුමංගල ශබ්ද කෝෂයට අනුව) මේ ජීවිතයේ දී පමණක් විඳිය යුතු යන අර්ථ සහිතය. එලෙස සාංදෘෂ්ටික ජීවිතයක් සමකාලීන මිනිසාට නැති බව වටහා ගැනීමට තරම් සමත්යාවත්කාලීන නොවීමෙන් ඔහුගේ නිර්මාණ කෞශල්‍යයෙන් අපට ලැබිය යුතු විශාල පරාසයක් අහිමිවී යයි. සැබැවින්ම සංක්ෂිප්තව කියන්නේ නම් සර්පයාගේ නිර්මාණවලින් ප්‍රකාශමාන වන්නේ සර්පයාට සර්පයාටම මුහුණ දීමට නොහැකි වීම නිසා වන අර්බුදයයි. මහිලාවංශය තුළ ලිංගිකත්වය දෘෂ්ටිවාදයක් ලෙස පොලා පැනීම සිදු වන්නේ එම ආත්මීය අර්බුදයේ ප්‍රකාශනයක් ලෙසය. කෙසේ වෙතත් ලිංගිකත්වය දෘෂ්ටිවාදයක් ලෙස මතුවීම යහපාලන දෘෂ්ටිවාදය තරම්ම හානිකර විය හැකිය. මක්නිසාදයත් ෆ්‍රොයිඞ් බැහැර කළ කිසිවක් (සියල්ල ලිංගිකත්වය මඟින්ම තීන්දු නොවීම බව ෆ්‍රොයිඩියානු තර්කයයි) මෙම ලිවීම තුළ කලාත්මක කෙරෙන බැවිනි.

සමන් කුමාරගේ නිර්මාණ භාවිතාව පමණක් නොව ඔහුගේ විචාර ලෝකය ද දිශානත වන්නේ අසූව දශකය කෙරේ වන නොස්ටැල්ජියාවයි. මේ නිසා සමකාලීන මිනිසා අතිශය ආත්මරාගී ලෙස තමා විසින් තමා නිර්මාණය කර ගනිමින් සිටින්නේය යන පශ්චාත් නූතන පැවැත්ම ඔහුට මඟ හැරෙයි. එම අර්ථයෙන් ඔහු කොතෙක් ඥාන විභාගාත්මක ලෙස දැනුම ලුහුබැඳ ගියත් ඉතිහාසය දිගින් දිගටම තොරොම්බල් කළත් සමන් කුමාරගේ ලිවීම් අදේශපාලනිකය. හරුකි මුරකාමී වෙනස් වන්නේ කෙසේදැයි හැදෑරීම මැනවි.

මෙම ලිපිය කේ. කේ. සමන් කුමාරගේ (සර්පයා) සාහිත්‍ය භාවිතාව අරභයා ලියූ දීර්ඝ ලිවීමක අවසානය වුවත් ස්ත්‍රිය පිළිබඳ ඔහුගේ කියවීම මෙහි මඟ හැරී ඇත. බොහෝ විට ඔහුගේ නේරන්ජනේ ඉස්නානේ කෘතිය ඇසුරු කර ගනිමින් එය පසුව ලිවීමට ඉතිරි කර ගනිමි.

සමන් වික්‍රමාරච්චි