මේ දර්ශනවාදීන් බහුල සමයකි. ඔවුන් සියල්ලන්ට තම තමන්ගේ ලට-පට දැමූ පෙට්ටගම් තිබේ. අප යම් විටක ඔවුන් එකතුකරගෙන සිටින ලට පට සියල්ල සහිත ගල් ගැසුණු පෙට්ටගම පෙරලා දැමූ විට ඔවුන් පෙරළා දැමූවන්ට බනිමින් නැවතත් පෙට්ටගමට ලටපට සියල්ල දමාගනී.

සමකාලීන භාෂාවේ ප්‍රපංච, අර්ථකතනවලින් යුක්ත වූ ත් දැනටමත් ව්‍යුහගත වූ ත් එකකි. එය බලවත් අන්ධකාරයකින් යුක්ත හෝ අන්ධභක්තියකින් යුක්ත වූ දෙයකි. දාර්ශනිකයන් දැනටමත් භාවිත කරන භාෂාව කුමක්ද? ඒ හරහා ඔවුන් කියන්නේ හෝ නියෝජනය කරන්නේ කුමක්ද? යන්න මානවවිද්‍යා පර්යේෂකයන් වශයෙන් අපට දැනටමත් තිබෙන ගැටලු ය.

සෑම අර්ථකතනයක් ම කූටප්‍රාප්තියක් බව අප විසින් තහවුරු කරන තුරු ඔවුන්ගේ අර්ථකතන අප අධ්‍යනය කළ යුතු ය. සෑම වාක්‍යක්ම වසා ඇති විග්‍රහයන්වල සැබෑ වුවමනාව කුමක්ද? ඔවුන් එවැනි අදහස් බරපතල ලෙස දරන්නේ ඇයි? යන්න දිගින් දිගට ම විමසා බැලිය යුතු ය. ඔවුන්ට එම අදහස නැතිව වෙන අදහසක් දරන්නට නොතිබුණා ද?

යම් අදහසක් වැළදගත් විට මිනිසුන් ඒ මත්තේ ම මරාගෙන මැරෙන්නේ, එය ආරක්ෂා කිරීමට දතකන්නේ ඇයි? පිස්සකුගේ ලටපට මල්ල හැලුණු විට නැවත ඒ තුළට දමාගැනීමට දගලනවාක් මෙන් තමන්ගේ ඇගෙන් කෑල්ලක් ගියාක් මෙන් මිනිසුන් දෘෂ්ටිවාද මත්තේ නැහෙන්නේ ඇයි? යන්න ගවේෂණය කළ යුතු ය.

වර්ගවාදය, ජාතිවාදය, ආගම්වාදය, වික්ටෝරියානු සුචරිතවාදය, දෙවියන් වැනි සියල්ල ගොඩගසා ඇති භාෂාව කුණු කදු වශයෙන් උපකල්පනය කළහොත් ඔවුන් මේවා රැස්කරගෙන සිටින්නේ ඇයි ද? යන්න කල්පනා කළ යුතු ය. අප ව කෙනකුට ප්‍රිය වන්නේ අප ඔවුන් දරන අදහස් නිසා ය. අප ඊට ප්‍රතිවිරුද්ධ වන විට ඔවුන් ප්‍රියතාව වෙනස් කරයි. මිත්‍රත්වය සහ පසමිතුරුතාව දාර්ශනික ආස්ථානයකි. එකගතාව පිළිබද ප්‍රශ්නයකි. එනම් මිත්‍රත්වය යනු සංයුක්ත සන්දර්භයකි. අප මෙම සංයෝජනය බිද දැමුවහොත් නැත්නම් විසංයෝජනය කළහොත් පසමිතුරුතාව පැනනගී.
39213575_1988859824506100_6687200819298697216_n-1
මෙන්න මෙතනදී සංස්කෘතික සභ්‍ය කාරණා වෙනස්වන හැටි නැරඹිය හැකි ය. උදාහරණයක් ලෙස ආගම්වලින් උගන්වන මෛත්‍රිය, කරුණාව වැනි සංකල්ප, ප්‍රේම කිරීම වැනි සංකල්ප වෙනුවට මරා දැමීම දක්වා ප්‍රතිවිරෝධතාව නිර්මාණය වේ. යමෙක් තමන්ගේ නිදහස ගැන කතා කළ විට තවකෙක් තමන්ගේ නිදහසේ සීමාව ගැන කතා කරන්නට පටන් ගනී. තමන්ගේ නිදහසේ සීමාව අනෙකාගේ නිදහස මතින් පැතිරී ගොස් තිබේ නම් තමන්ගේ නිදහස යනු අනෙකාව යටපත්කර තබාගැනීම බව ඒත්තුගැන්වේ.

මෙන්න මේ අධිපතිමතවාද නඩත්තු කරන සාක්ෂි සපයන්නේ ඉතිහාසයෙනි. අයිතිය තහවුරු කරනු ලබන්නේ ඉතිහාසයෙනි. ඒ නිසා මිනිසුන් කරන්නේ දිගින් දිගට ම ඉතිහාසය අටවාගෙන යාමයි. නැතන්ම් මේ කූඩාරම පවත්වාගෙන යාමයි. මානව විද්‍යාව නිතර ම මේ කූඩාරම සිදුරු කර එහි ඇතුළ තිබෙන දෙය පරීක්ෂා කරයි. ඔවුන්ට ඒවා ලැබුණේ කෙසේ ද? ඔවුන් රැස්කරගෙන සිටින්නේ ඔවුන්ට ම අයිති දේවල් ද? උදාහරණයක් ලෙස භාෂාවක් යනු තනි ස්වාධීන වූවක් නොව කාලාන්තරයක් පුරා එක්රැස් වූ දෙයකි.

භාෂාව ගෘහයක් නම් අප මෙම සංයෝජනය වූ භාෂාව විසංයෝජනය කරන විට එහි තිබෙන රාජ්‍ය බලය පිළිබද සංකල්ප, සූරාකෑමේ ව්‍යුහ එකින් එක ගැලවෙන්නට පටන්ගනී. එක්ජාතියකට අයත්ව තිබූ ද්‍රව්‍යමය ඉතිහාසය තවත් ජාතියක් විසින් භාෂාමය ලෙස සූරාකෑමට ලක්කරගෙන තිබෙන සැටි දැකගත හැකි ය. මානව වාදීන් ලෙස අප ලෝකය යන්න ද්‍රව්‍ය මත පදනම් වූ කල්පිතයක් ලෙස හදුනාගත යුතු ය. සියල්ල ව්‍යාජයක් බව ජාතිය, ආගම, කුලය, වංශය, සිරිත්-විරිත් මේ සියල්ල කල්පිත බව, ද්‍රව්‍ය මත පදනම් වූ කල්පිත ශුද්ධ කළ පසු එනම් මළකඩ සියල්ල කඩා දැමූ පසු අපට ද්‍රව්‍ය පෙනෙන්නට පටන් ගනී.

සමහර විට ද්‍රව්‍ය කිසිත් නැති මළකඩ ගුලියක් පමණක් වශයෙන් කල්පිතය ශුන්‍ය වනු ඇති. සමාජයක් විද්‍යාත්මකව සංයුක්ත කිරීමට මානව විද්‍යාව වැදගත් ය. අප සාමූහිකව ජීවත්වීමට, පරස්පරතා ශුන්‍ය කරගැනීමට විද්‍යාව අවශ්‍ය ය. විද්‍යාත්මක ඉතිහාසය හෙළිදරව් කරගත නොහැකි සමාජයක් මිනිස් නිදහස යනු කුමක්දැයි තහවුරු කර නොගන්නා බව අප වටහා ගත යුතු ය.

සමරකෝන් පතිරාජ