සුමනා විජේරත්න

අපි ජීවත් වෙලා ඉන්න රටේ මේ බෝඩිං ඉස්කෝල ක්‍රමය ගැන යමක් ලියල දාන්න ඕනෑ කියල හිතුන. කැනඩාව කියන්නේ අපේ මහ රෑජින වහන්සේට අයිති විජිතයක්නෙ. තුවක්කවයි බයිබලයයි අරගෙන ඇවිල්ලා කරපු හරියෙ කැක්කුම් ඔඩු දුවන පරිච්ඡේදය ගැන වැඩි පිරිසක් දන්නේ නැහැනෙ. මේ පිළිබඳව වැඩිදුර අධ්‍යායනයක් කරන මගේ පුතා වරක් කී දෙයකින් මේක පටන් ගන්න කල්පනා කරා. එයා කීවා “මම මේ රටේ සංස්කෘතික ලක්ෂණ වලින් පිළිකෙව් කරන කොටසක් තියනවා, ඒ තමයි තවත් රෑ දිවා දෙකේම එලිමහනේ හොල්මන් කරන අධිරාජ්‍යය වාදී සංස්කෘතිය. මම ඒක පිළිකෙව් කරමින් ගියා මගේ උරුමයන් හොයන්න කියල උපන් රටට, එහිදී මට හම්බ උනේත් අර අධිරාජ්‍යය වාදීන් දීල ගිය දේවල් උජාරුවෙන් කරපින්නාගෙන අපේ අපේ කියා කෑ ගහන සංස්කෘතියක්”. ඒ කතාවට මට හැඩුමක් ආව.

අපේ රටට අධිරාජ්‍යය වාදීන් ගෙනාාපු මිෂනාරි අධ්‍යපන ක්‍රමය ස්ථාපිත කරල, අවුරුදු දහස් ගානක් සිවිලයිස් වෙලා තිබිච්ච ශිෂ්ටාචාරයක් කණපිට පෙරළුවා නෙ. අර 70 පාලනය කොරේ ඔය කියන අයනෙ. ඒකට ටිකක් සමාන එකක් තමයි මේ රෙසිඩෙන්ෂල් ස්කූල් සිස්ටම් එක, හෙවත් බෝඩිං ඉස්කෝල ක්‍රමය කියල මින් ඉදිරියට මේ ලිපියේ සදහන් කරන්නේ.

බෝඩිං ඉස්කෝල පටන් ගත්තේ කැනඩාවේ ස්වදේශිකයන්ගේ දරුවන් බටහිර ශිෂ්ටාචාරයේ විදිහට අධ්‍යාපනයක් දීල යටත් කරගත්ත විජිතයේ මහා සමාජයට අනුගත කරන්න කියන එක තමයි සාධාරණීකරනය කරපු කරුණ. එකට හේතුව යටත් විජිත කරුවන් ගේ්‍ තිබුණු මන්ද මානසිකත්වය සහ වහල් චින්තනය. ස්වදේශීකයන්ගේ තුළ කාලාන්තරයක තිස්සේ පෝෂණය වෙමින් පැවත ආ නිදහස් මතධාරී චින්තනය සහ සම්ප්‍රදායික වටිනාකම් තුළින් දරුවන්ට ලබාදුන් පන්නරය, බහුවිද ආරක්ෂාව, ප්‍රායෝගික ජීවිත අධ්‍යාපනය සහ කොටින්ම කීවොත් ස්වදේශීය සංස්කෘතික ප්‍රඥාව පිළිබඳව කිසිදු අවබෝධයක් මේ යටත් විජිත තණ්හාධිකයින්ට තිබුණේ නෑ. ඒ අයගේ ඕලු ගෙඩි මේ බිමේ තිබුණු සම්පත් වල ආර්ථික වටිනාකම හමුවේ වියරු වැටිලා තිබුණේ.

ඉතින් ඒ අය හිතුවා, අර එංගලන්තයේ කාර්මික විප්ලවයත් එක්ක බිහිකරපු හොදම කීකරු හරක් ටික තෝරන මිලිටරි අධ්‍යාපන ක්‍රමය තමයි එකම විසඳුම ස්වදේශීය දරුවන් මහා සමාජයට අනුගත කරන්න කියල. කැනඩාවේ යුරෝපීය ජාතීන් මහා සමාජය වෙන්න හේතු දෙකයි. එකක් යුද්ධ වලදී ස්වදේශීය ජාතිකයන් බුරුතු පිටින් මැරා දාපු එක. අනික ඒ වාගේම පිරිසක් විදේශිකයො ගෙවාපු වසංගත රෝග නිසා මැරුණ එක. ඉතිං අර පිටින් ආපු අර කියපු විදිහට හීලෑ වෙච්ච අයයි හීලෑ නොවෙච්ච රනවේ ගයිස්ල වගේ අයයි තමයි මහා ජාතිය වුනේ.

ඉතින් ඔන්න පල්ලියට බාර දුන්නා වැඩේ බයිබලය උගන්නල අර හීලෑ කරන වැඩේ කරන්න. ඒ වැඩේ කරන්න හදපු සිස්ටම් එක තමයි ඔය බෝඩිං ඉස්කෝල ක්‍රමය. පල්ලියට අනුබද්ධව ලංකාවේ මිෂනාරි ඉස්කෝල වගේ මධ්‍යස්ථාන හදලා ස්වදේශිකයින් ගෙ ළමයි සේරම ගෙනාව මේ බෝඩිං වලට. මේ ගෙනාවේ ස්වදේශික ළමයින්ව ශීලාචාර කරන්න. එහෙම ගෙනල්ලා කරපු ව්‍යවසනය තමයි මේ අයගේ ජන ජීවිතය උඩු යටිකුරු කරලා අද වෙනතුරු මහා සංහාරයක් බවට පරත්වෙලා තියෙන්නේ.

බෝඩිං ඉස්කෝල ඇතුලේ පොදුවේ කරන ලද අකටයුතු ටිකක් කියන්නම්. මුලින්ම මේ අය, ඒ අය ගෙනාවේ බලෙන් පැහැරගෙන. නීතියක් විදිහට ට්‍රීටි සම්මුතියක් අත්සන් කරා, ස්වදේශීය ඉඩම් රජයට පවාදීම වෙනුවට, ස්වදේශික දරුවන්ට අධ්‍යපනය ලබා දිය යුතුය කියල. මේ වගකීම පාලකයින්ගේ උරුමයක් විදිහට තමයි ක්‍රියාත්මක වුනේ. දෙමවිපිය ආරක්ෂා වෙන් වෙන්වු දරුවන් හුදකලා වුනා පාසැල් වල දැඩි මිලිටරි නීති රීති යටතේ. ඔවුන්ට ස්ව භාෂාව කතා කිරීම තහනම් වුනා. එසේ කලොත් දිවට ඉදිකටු ඇන දඩුවම් කරල තියනව. ආහාර ප්‍රතික්ෂේප කලොත් ඒවා බලෙන් කවල තියනව, වමනය පවා නැවත කවා දඩුවම් කරල තියනවා. වඩාත්ම පිළිකුල් සහගත තත්වය වන්නේ ගැහැණු පිරිමි දෙපක්ෂයම එකසේ ලිංගික අපචාර වලට ලක්වීම. එවා කරන ලද්දේ බෝඩිං පාලක පාලිකා තනතුරු දැරූ පුජ්‍යය පක්ෂය විසින්මයි. මේ තත්ත්වයන්ට මුහුණ දීගත නොහැකි අය හොරෙන් පැනයාමට තැත් කරත් ඒක ලේසි නෑ. එහෙම ගිහින් අසුවූ පසුව ඉතා දරුණු දඩුවම් පමුණුවල තියනවා. මෙසේ මරණ්ඩු වන පිරිමි දරුවන් අවසන් වන්නේ සිරගෙවල් වල. ගැහැණු දරුවන්ගේ ඉරණම ඇත්තටම සංවේගය ජනකයි.

මෙම ක්‍රියාවලියේ උච්ච තම අවදිය හඳුන්වන්නේ 60 scoop නමින්. එනම් 1950 -1980 කාලය තුල දියත් කරනු ලැබූ බුරුතු ගනන් දරුවන් බලෙන් පැහැරගෙන විත් (පොස්ටර් පේරන්ට්ස්) කැපකරු දෙමාපියන් වෙත ලබාදී රජයේ සුභ සාධන අරමුදල් යටතට ගැනීම. මේ අයුරින් ළමුන් 20,00 ක් පමණ බලෙන් ගෙනැවිත් තියනවා. මෙම දරුවන් ප්‍රධාන වශයෙන් අවිවාහක මව් වරුන්ගේ වන අතර, ඒ වන විටත් කලින් එවැනි බෝඩිං ඉස්කෝල වලින් පිටවී මහ සමාජයට පිය නගපු අනාරක්ෂිත අය තමයි මේ මේ ඉරණමට ගොදුරු වෙලා හිටපු අවිවාහක අම්මලා.

මෙතන ඇති ප්‍රධාන ගැටළුව වන්නේ, බහුවිද පවුල් ආරක්ෂණයක් යටතේ හැදුනු වැඩුනු ස්වදේශික දරුවන් තම සුපූරුදු පරිසරයෙන් මිදී, අනේකවිධ ගැහැට විඳිමින්, සම්පූර්ණයෙන්ම වෙනස් සීමාන්තික මිලිටරයිස් කූඩුවක් ඇතුලේ හැදෙනවා නව යෞවනය වෙනතෙක්. ඒ අය අවුරුදු 16/17 වෙනකොට මහා සමාජයට මුදා හරිනවා. දෙයාකාරයකට. කැමති නම් ආපහු යන්න පුළුවන් පරණ ගමටම තම ස්වදේශික වරප්‍රසාද තියාගෙන. නැත්තං ඉන්න පුළුවන් නගරවල මොනව හරි පොඩි රැකියාවක් කරගෙන හැබැයි ස්වදේශික වරප්‍රසාද නැහැ. කොහොම ගියත් ඒ අයගෙ ජීවිත විනාශ වෙලා ඉවරයි. අනේක විද ගැහැට මැද්දේ හැදෙන ඒ අය මත් ද්‍රව්‍ය වලට වලට, මත් කුඩු වලට, සිගරැට් වලට ඇබ්බැහි වෙලා. හුගාක් අය අවිවාහක මව්වරු. ඒ අයගේ මානසික පීඩනය උග්‍ර නිසා මව්පිය මෙහෙවර කරන්න පුළුවන් කමක් නෑ. දරුවන් ට අවශ්‍ය රැකවරණය දෙන්න බෑ ආනාදරය තුළ හැදුනු පෞරුෂයක් තියන කෙනෙක්ට. ඉතින් ඒකට විසදුම තමයි කැපකරු, ස්වදේශික නොවන පවුල් වලට බාර දෙනවා. මේ කැපකරු පවුල් මේ දරුවා හදන්නේ යාන්ත්‍රිකව, ආණ්ඩුවේ නීති රීති වලට අනුව. ආදරයක් සෙනෙහසක් නැතිව නීති රීති වලට හදල අවුරුදු 16 දී සමාජයට යවනවා. මේක චක්‍රීයව දැනට පරම්පරා ගාණක් ඇවිල්ලා ආපහු හදන්න බැරි තරමට ඔඩු දුවල.

මේ ඉස්කොල පද්ධතිය නිර්මාණය කරලා තියෙන අභාග්‍ය සම්පන්න ප්‍රතිථල ආත්මෙට හදන්න බෑ. සංඛ්‍යාලේඛන වලින් එය ඔප්පු කරල තියනවා. මේ බිමේ ඉඩම් වල හිමි කාරයො වන ඔවුන් ගේ දුප්පත් කම මනින දර්ශක කැනේඩියානු ජාතික අංගයන්ට වැඩිය සහ දෙලොස් ගුණයක් වැඩි යි. මේකෙන් අන්තිම අසාධාරණය වුනේ ළමා පරම්පරාවට. බහුවිද ආරක්ෂණයක් යටතේ විස්තීර්ණ පවුල් වල හැදුණු වැඩුණු ළමයි කාත් කවුරුවත් නැතුව අසරණ වෙනවා අවුරුදු 16න් පසුව. සංඛ්‍යාලේඛන ටිකක් දෙන්නම් අදහසක් විතරක් ගන්න.ස්වදේශික දරුවන්ගෙන් 34% ක් අම්මා හෝ තාත්තා එක් අයෙක් යටතේ ඇති දැඩි වෙන්නෙ. ඒත් මෙම තත්වය ජාතික මට්ටමේ 17% පමණයි. තව එකක් තමයි කැපකරු දෙමාපියන් යටතේ රජය මගින් නඩත්තු කරන ළමුන් ගෙන් 48%ක්ම ස්වදේශික ළමුන්. එහෙත් මුළු ජනගහනයෙන් ස්වදේශිකයන් ඉන්නේ 4.3% පමණයි.

කාලාන්තරයක් තිස්සේ මේ තත්ත්වය ප්‍රතිවර්ධනයේ අනිවාර්ය ප්‍රථිපලය ලෙස මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමි, මානසික ආතතියෙන් පීඩා විදින්නන්, ගණිකා වෘත්තියේ යෙදෙන්නන්, පැහැරගෙන ගොස් මරා දමනු ලබන කාන්තාවන්, සිය දිවි හානි කරගැනීම්, විවාහ දෙදරීම්, ළමා මවුවරුන්, තනි දෙමව්පියන් (single parent), වල දත්ත ජාතික මට්ටමට මෙන්ම අනෙකුත් සියළුම ජන කොටස් වලට වඩා වැඩි අගයක් පෙන්නුම් කරනවා.

මෙහි බැරෑරුම් කම තේරුම් යන්නේ දත්ත වලට වඩා ඔවුන්ගේ කතාන්දර වලට ඇහුම් කන් දීමෙනි.

More stories: https://www.cbc.ca/news/indigenous

1988 බෝඩිං ඉස්කෝල නීතියෙන් වහල දැම්මාට අවසන් එක් 1991 වෙනතුරු පවත්වලා තියෙනවා. ඊට පස්සේ වෙච්ච කතාන්දරය ගැන යමක් පසුව.