ලිබරල්වාදය යනු අද දවසේ ධනේශ්වරයේ පැවැත්ම සදහා විරුද්ධාභාෂය පවත්වාගෙන යන  සංකල්පයකි. මෙම ලිබරල් මනෝරාජ්‍ය තුළ අප නොසිතන ලද නිදහසක් ඇතැයි උපකල්පනය  කරනු ලබන්නේ වුවත් එය ධනේශ්වරයේ පැවැත්ම සදහා වන පැසිස්ට් සංකල්පයක් ලෙස  හැදින්විය හැකි ය. මේ ලිබරල්වාදය මගින් පුද්ගලික අභිලාෂයන් යම් තාක් දුරකට  සිහිනයක් දෙසට විස්ථාපනය කර අතරමං කරවනු ලබයි. අප සිතන්නේ එම සිහිනය තුළ  සිටින තාක් එය යථාර්තයක් වනු ඇති බවයි. ලිබරල්වාදය තුළ පවතින සංකල්ප මත  ප්‍රතිවිරෝධය ගොඩනගන අතර එම පරස්පරතා තමන්ගේ නිදහසේ බාධාව ලෙස ගනු ලැබේ.  ඔවුන් මතුපිටින් හුවා දක්වන්නේ සමෝධානික සමාජයක් වුවත් ඇතුළතින්  ප්‍රතිවිරෝධතා බහුල සමාජයක් ගොඩනගනු ලැබේ. එක් එක් ව්‍යුහ තුළ විවිධ  ප්‍රශ්න මගින් එකිනෙකා අතර අර්බුදය මතු කරනු ලැබේ. දිගින් දිගට ම මේ  ප්‍රතිවිරෝධතාව ඇවිලීම සහ නඩත්තු කිරීම මගින් සමෝධානික අවසානය ගැන  යුතෝපියානු නිදහසක් පෙන්වනු ලැබේ. අප දන්නා පරිදි ධනවාදය මූර්තිමත් කරනු  ලබන්නේ එය මිනිස් නිදහසේ උච්චතම සංකල්පය බව ය. සෑම දෙනාට ම ධනපතියකු වීමට  අසීමිත ඉඩකඩක් ඒ තුළ ඇති බව ය. ඒ අනුව ධනේශ්වරයට ද මාක්ස්ගේ විද්‍යාත්මක  සමාජවාදයට මෙන් යුතෝපියාවක් තිබේ. ධනවාදයේ අවසාන සීමාවේ ඇත්තේ ප්‍රාග්ධනයම  වේ. මෙම අවසානයේ තමන් වෙනුවෙන් එල්ලා ඇති කැරට් අලය පසු පස නොනැවතී දුවන  මාර්ගය සදහා නූතන නිදහස ලිබරල් නිදහස වේ. සාමාන්‍ය ලෙස මේ තුළත් මැතිවරණ,  ඡන්දය දීම, ජනතා පරමාධිපත්‍ය බලය, පාර්ලිමේන්තු, දේශපාලන පක්ෂ, වැනි  ප්‍රජාතාන්ත්‍රික අංග සහ අදහස් සියල්ල අතිශ්‍ය ව්‍යාජ ඒවා වේ. මෙම  ව්‍යාජත්වය මගින් සුරක්ෂිත කරනු ලබන සූරාකෑම වඩාත් නිදහස් මාර්ගයක් ලෙස  හුවා දැක්වීම ලිබරල්වාදය ලෙස මතු කරන ලද්දේ එහි සැබෑ මුහුණු වර හෙවත්  ධනවාදයේ පැසිස්ට් ස්වරූපය සුමට කිරීම සදහා ය. කිසිදු රාජ්‍යයක් මානව නිදහස  ආරක්ෂා කිරීමට ධනවාදය තුළ සමත් වන්නේ නැත. තවත් ආකාරයකින් ලිබරල්වාදය ගැන  කිවහොත් එය ධනවාදයේ රැඩිකල් ස්වරූපයකි. එනම් මර්දනය කර ඇති සත්‍යය යට ගැසිය  හැකි, සූරාකෑම වෙනුවට වෙනත් දේ ගැන ගැඹුරින් අරගල කළ හැකි රැඩිකල්  ස්වරූපයකි. 20වැනි සියවසේ ආරම්භ වූ ලෝකයේ වාමවාදී පක්ෂ පවා වර්තමානය වන විට  මෙම ලිබරල් රැඩිකල්වාදයට ගොදුරු වී තිබේ. පරණ වාමාංශික ස්වරූපය ලිබරල්  රැඩිකල් මතවාද මගින් අභියෝගයට ලක් කරන ලදි. අප දන්නා පරිදි පරණ වමේ  සම්ප්‍රදායයන් ලිබරල්වාදය තුළ හාස්‍යයට ලක් වේ. එමෙන් ම පැරණි සංස්කෘති  සංකල්ප, ආගම්, දෘෂ්ටිවාද මේ සියල්ලක් ම ලිබරල් රැඩිකල්වාදය තුළ විරොධතාවයට  හසු වේ. එමගින් අප අප තුළම ප්‍රතිවිරෝධයක් ලෙස, රාජ්‍යයක් රාජ්‍යයක් තුළ ම  අර්බුදයක් ලෙස බාධක ඇති කර ගනු ලැබේ. එසේ නම් අපට අදාල ව ගත් විට  පසුගිය 26 වැනි දා ලංකාව තුළ සිදු වූයේ කුමක් ද? ලිබරල්වාදී රැඩිකල් බව  මගින් ගොඩනගන ලද ප්‍රතිවිරෝධතාවලට පැරණි සමාජය විසින් පෙරළා පහර දීමයි. එය  ලංකාව වැනි නිදන්ගත රාජ්‍යකට ම අයත් වන, ඊට ම ආවේණික වූ ධනේශ්වර රාජ්‍යයක්  තුළ පැරණි රාජාණ්ඩුවාදී සමෝධානය මගින්, (අතීත විශ්වාසයන් සහ නිපදවීම්  මගින්) නූතන විසංයෝජන බැහැර කිරීමයි. ඉන්දියානු සම්භවයක් ඇති පැරණි  රාජ්‍යයක් තුළ පවතින ධනේශ්වර ක්‍රමයක් සංකල්ප මගින් පමණක් වෙනසකට පත් කළ  නොහැකි බවත් ඊට භෞතික වෙනස් වීම් සහ ආශාවන් අවශ්‍ය බවත් එනම් බරපතල ලෙස  තමන් ජීවත්වන භූමියට ගැති වීමක් තිබිය යුතු බවත් එමගින් පෙන්වා දෙන ලදි.