ඉෂාරා අබේගුණසේකර

අධ්‍යාපනයේ සමාජ අරමුණ වන්නේ ඊ ළඟ පරම්පරාව සඳහා ජීවත්වීමට අවශ්‍ය කුශලතා, දක්ෂතා හා ආකල්ප ලබාදීමයි. පූර්ව නූතන ලංකාවේ අධ්‍යාපන ක්‍රමය සකස්ව තිබුනේ රාජකාරි ක්‍රමය හා සම්බන්ධවය. ඒ අනුව කුඩා ගැමි කර්මාන්ත මූලික කරගත් පවුල්මය අධ්‍යාපනයක් ඊට සෑහිනි. ඒ ඒ කුලයේ නියුත් අය සදහා වන සරල දැනුම් ප්‍රමාණයක් උපතේ සිට සමාජානුයෝජනය දක්වා ලබාදීම එහි අරමුණ විය. එය ඇතැම් විටෙක ගමේ ප්‍රාථමික කාර්යයන් සිදු කිරීමට සීමා විය. එහි බොහෝ ගැඹුරක් දක්නට තිබුනේන නැත. නමුත් ඒ වැඩවසම් ගම්මානයේ ජීවත්වීමට අදාල තත්වය අධ්‍යාපනය මඟින් ලැබුණි.

බොහෝ විට ගොවිතැන, කුඹල් කර්මාන්තය, යකඩ කර්මාන්තය, වෙදකම , ධීවර කර්මාන්තය අධ්‍යපනයෙන් මූලික වශයෙන් ලැබුණි. ඊට අමතරව ශාන්තිකර්ම හා මානසික සුවතාවය සදහා වන සීමිත විනෝදාස්වාදනයක් ද මේ තුළ දක්නට විය. රාජ මාලිගය තුළ රාජකාරි කිරීමට අවශ්‍ය අධ්‍යාපනය ද බොහෝ ගැඹුරු හා පිරුණු එකක් නොවීය. මහනුවර යුගය වන විට ආගමික අධ්‍යාපනය සදහා වන පිරිවෙන් ආදිය ද පැවැතියේ ඉතා ඉහළ මට්ටමක නොවේ.

රජරට වියළි කලාපීය ශිෂ්ඨාචාරවත් කාලසීමාව තුළ අධ්‍යාපනය හා දැනුම තිබූ ස්ථානයට වඩා ඉතා පිරිහුණු අත්‍යවශ්‍ය දැනුම් පමණක් වන සීමාකාරී අධ්‍යාපනයක් යටත්විජිත යුගයට පෙර තිබුණි. සමාජයක් වශයෙන් අධ්‍යාපනයක අවශ්‍යතාවය නොතිබූ අතර එය හුදෙක් ප්‍රජාවක ජීවත්වීම සදහා සෑහෙන අධ්‍යාපනයක් බවට පත්ව තිබුණි. ඒ ඒ ප්‍රජාව සඳහා වන විවිෂත්වයන් තුළ සම්ප්‍රදායික දැනුම ජීවත්වීම තුළම සම්පාදනය විය. එයින් බිහි වූයේ සමාජීය අධ්‍යාපනයක් නොවේ.

සමාජයක් ලෙස සිතිය යුතු හා ගණුදෙනු කල යුතු සාර්ව අධ්‍යාපනික රටාවක් හෝ පද්ධතියක් ඒ තුළ බිහි වූයේ නැත. වෙරළබඩ තීරය ලන්දේසි හා පෘතුගීසි විජිතකරනය යටතේ යම් ආකාරයක සංවර්ධනයකට පත්විය. මිනිසුන් සමාජයක් වශයෙන් සිතීමේ හා ක්‍රියාකිරීමේ මූලික පදනම් යාපනයේ සිට මාතර දක්වා බිහි විය. ඒ ඔවුන්ගේ ආගම හා නීතිය මූලික කරගත් අධ්‍යාපනයකි. ස්වදේශිකයන් සඳහා වන අධ්‍යාපනය තවදුරටත් සම්ප්‍රදායික ක්‍රම වල පැවැතුණි.

ඉංග්‍රීසිකරනයෙන් පසුව රාජකාරි ක්‍රමය අර්ධ වශයෙන් අහෝසි කිරීම (නීතියක් ලෙස මුළුමනින්ම අහෝසි කරන ලද පැවසුවද) තුළ සම්ප්‍රදායික ගැමි කර්මාන්ත ක්‍රමයෙන් බිඳ වැටුණි. සම්ප්‍රදාය තුළ හා ද්විතීයක සමාජානුයෝජනය තුළ තිබූ අධ්‍යාපනය එසේම පැවැතුණි. ඉංග්‍රීසි අධ්‍යාපනය ආගම මූලික හා බටහිරකරනය මූලික අධ්‍යාපනයක් බවට පත්වෙමින් පැවැති ගැමි අධ්‍යාපනයේ සාර්ව බව අහෝසි කරන්නට විය. ඉංග්‍රීසි අධ්‍යාපනය තුළ බිහි කරන ලද්දේ හුදෙක් ගැමියා හා ප්‍රජාව සූරාකෑමට අදාල අධ්‍යාපනික මොඩලයකි.

යාපනය හා නැගෙනහිර දෙමළ ජනයා ලංකාවේ බටහිර අධ්‍යාපන ක්‍රමයේ මූලික වරප්‍රසාද ලත් කොටස් බවට පත්විය. එම අධ්‍යාපනය මඟින් ඉතා සෘජු වශයෙන්ම ස්වදේශික විරෝධී පන්තියක් බිහිවිය. එයට හේතුව වන්නේ අධ්‍යාපනයේ අරමුණ වූයේ ලංකාව තුළ පාලනමය කාර්යයක් සඳහා වන තාක්ෂණික අධ්‍යාපනයක් හඳුන්වා දීමයි.

බටහිර අධ්‍යාපනය නිවර්තන දූපතක් තුළ සිය සම්ප්‍රදායික දැනුම පවතිද්දී එයට ඉහළින් ස්ථාපිත කිරීම නිසා නිසග වශයෙන්ම ලංකාවේ අධ්‍යාපනය කොටස් දෙකකට බෙදුණි. සම්ප්‍රදායික ක්‍රම හා මෝස්තර අධ්‍යාපනික දේවල් වශයෙන් පිලිගැනීමක් ඇති වූයේ නැත. එම නිසා ලංකාවේ අධ්‍යාපනය තුළ සම්ප්‍රදායික දැනුම අනවශ්‍ය, ග්‍රාම්‍ය හා මිත්‍යා අධ්‍යාපනයක් ලෙස දකින්නට හැකි විය. නමුත් බහුතරයක් දෙනා මෙකී ස්වයංසිද්ධික සමාජානුයෝජන හා කුල අධ්‍යාපනය භාවිතාවේ යොදවන්නට විය. එයට හේතුව වූයේ ඉහත කී බටහිර අධ්‍යාපනය ලබන්නන් පිරිස සීමිත වූ නිසා සහ ඔවුන්ගේ බලපෑම ග්‍රාමීය කෙලවරවල් වල භාවිතයට අවශ්‍ය නොවූ නිසාය. ගොවිතැන පිලිබදව වන යැපුම් මාර්ගික ප්‍රවේශය මූළික කරගනිමින් ලංකාව තුළ සම්ප්‍රදායික අධ්‍යාපනය ද නොනැසී පැවැතුණි.

සම්ප්‍රදායික අධ්‍යාපනය ඉතා වෙන් වෙන් වශයෙන් හා රහස්‍ය වශයෙන් භාවිතා විය. එක් කුලයක් සදහා වන ශිල්ප ක්‍රම තවත් කුලයක් විසින් පිලිකෙව් කරන ලදී. එසේම අාගමික අධ්‍යාපනය ඉන්දියානු ලෙසින්ම බෞද්ධ භික්ෂුන්ගේ අණසකට යටත්ව තිබුණි. එම අධයාපනය විසින් ද ඉතා බලවත් බෙදීමක් හා පීඩනයක් ජනතාව තුළ ඇති කරන්නට විය. ආගමික විමුක්තියේ අධ්‍යාපනය නිවන හෝ පුද්ගලික බිය ඉවත් කිරීම පූජකයින්ට පමණක් සීමා වී තිබුණි. ප්‍රජාව තුළ මානසික නිෂ්ඨාවේ අයිතිය බුද්ධාගමික භික්ෂුන් විසින් සමාජය පාලනය කිරීමේ උපකරණයක් වශයෙන් භාවිතා කරන ලදී.

අගමික නිෂ්ඨාව වටා සමාජය බියෙන් බැඳ දමා තිබුණි. එහි හිමිකාරිත්වය ගිහි පිරිස් වෙත ලබා දී තිබුනේ අවම වශයෙනි. යම් ආකාරයක හෝ දියණු යැයි සම්මත අධ්‍යාපනික රටාවක් වේ නම් එය ඉතා බහුතරය ආකාරයට ආගමික සංස්ථාව සතුවිය. එමගින් ජනතාවගේ චින්තනයේ හා ජීවිතයේ සාරය ලංකාවේ පන්සල් වල අණසකට ලාංකේය ක්‍රමයකට ගාල් වී තිබුණි. පොදුවේ ගත්කල දියුණු අධ්‍යාපනික භාවිතය පීඩාකාරී විය. මෙම පීඩාව අපාය, පව්, පින්කම්, නිවන, සංස්කෘතික අවකාශ සීමා කිරීම යන අංශ තුළින් බෞද්ධ භික්ෂුන් විසින් දැඩිව පාලනය කරන ලදී. පොදු ජන අධ්‍යාපනය සීමාසහිත ප්‍රාථමික තාක්ෂණික හා සම්ප්‍රදායික දැනුම මූලික නොවැදගත් දෙයක් බවට පත්ව තිබුණි. ලංකාවේ සම්ප්‍රදායික අධ්‍යාපනය තුළ පීඩනය එල්ල කිරීමේ භාවිතය ඉතා තදින් වැඩවසම් ක්‍රියාකාරිත්වය හා බැඳී තිබුණි.  

බටහිරයන් විසින් ඇති කල අධ්‍යාපනය ද මෙම පීඩනය වඩාත් දියුණු ආකාරයකින් ඇති කරවන ලදී. ලංකාවේ පළමු සම්ප්‍රදායික අධ්‍යපන ක්‍රමය පීඩන උපකරණයක් වූයේ යම් සේද ඊට වඩා බලවත් ආකාරයකින් බටහිර අධ්‍යාපනය ද පීඩක උපකරණයක් බවට පත් කරන ලදී.

අධ්‍යාපනයේ ද්විත්ව ක්‍රමයම ලංකාව තුළ බලවත්ම පීඩක උපකරණ බවට පත් විය. මෙම පීඩක උපකරණ විසින් පොදු ජනතාව පෙලා දමන්නට මෙකී අධ්‍යාපනය ලද්දන් දෙආකාරයක පීඩක ස්ථර බවට පත් විය. මහනුවර යුගයේ පීඩාවන් ඇති කරන ලද හා රාජකීය පීඩාවන් ඇති වූ රදල කොටස් කොළඹට පැමිණ බටහිර අධ්‍යාපනය ලැබීමෙන් යලිත් වරක් පීඩකයන් බවට පත්විය.

පොදුජන පීඩක සම්ප්‍රදායික හා බටහිර අධ්‍යාපනය විසින් සමස්ත ජනගහනයේ අති බහුතරය තුළ පීඩනය ඇති කරවන ලදී. නීතිය, ව්‍යාපාර, රාජ්‍ය පාලනය, ආගමික කටයුතු, යටත්විජිත බදු මේ සියල්ල ලාංකේය අධ්‍යාපනයේ නිර්මිත පීඩක ද්විත්වය විසින් හසුරවන ලදී. රාජකාරි ක්‍රමය අහෝසි කිරීම තුළ ජාතික රාජ්‍යය බ්‍රිතාන්‍යයට අවශ්‍ය පරිදි කඩමාල්ලක් ලෙස ලංකාවේ අතුරන ලදී. මේ කඩමාල්ලේ නොඉරුණු තැන් වල සැපවත් ජීවිතයක් ගත කරන්නට හා පීඩක ජීවිතයක් ගත කරන්නට අධයාපනය ලද්දන්ට හැකිවිය.

ලංකාවේ අධ්‍යාපනය දරුණු පීඩක උපකරණයක් බවට ක්‍රමිකව පත් කරන ලදී. වැඩවසම් හීනමානයේ ගැලී සිටි සියළු පිරිස් නව අධ්‍යාපන ක්‍රමය හඳුනාගන්නා ලද්දේ සිය ස්වදේශික නෑදෑයින් පීඩාවට පත් කල හැකි උපකරණයක් ලෙසය. ඇත්ත වශයෙන්ම සිදු වී ඇත්තේ ද එයයි. පළමු ඉංග්‍රීසි අධ්‍යාපනය ලද්දන් විසින් ලංකාව ඉංග්‍රීසි ආකාරයට පාලනය කරන ලද්දේ සිය උපන් බිම ගැන අදහසක් ඇති කරගනිමින් නොවේ. එය හුදෙක් ඉංග්‍රීසිමය ආකෘති මත කරන ලද පීඩාත්මක ක්‍රියාවක් වශයෙනි. එසේම එයින් ඔවුන් අත් කරගත් ප්‍රහර්ෂය ද වන්නේ වැඩවසම් ප්‍රජාවක් තුළ සිදු කරන ලද පීඩාවමය.

දෙවන අවස්ථාව වන්නේ නිදහස් අධ්‍යාපනය ලැබීමයි. එහිදී ජනගහනයෙන් අති බහුතරයක් විසින් අධ්‍යාපනය ලබාගන්නා ලදී. නමුත් අධ්‍යාපනය නිදහස්ව ලබාදුන්න ද ලබාදුන් අධ්‍යාපනය තුළින් නිදහසක් අත් කරගත්තේ නැත. එය කිසිසේත්ම යටත්විජිතකරනයට එරෙහි නිදහස තහවුරු කරන ලද්දේ නැත. එසේම එය වැඩවසම්කරනයට එරෙහි නිදහස තහවුරු කරන ලද්දේ ද නැත. එයින් සිදු වූයේ ලංකාවේ පන්තිමය උසස්වීමක් සඳහා බුරුතු පිටින් ඉඩ ලැබීම පමණි. ග්‍රාමීය පන්ති හා ස්ථර වල කොටු ව සිටි පිරිස්  ඊනියා මධ්‍යම පන්තියකට හා නාගරිකමය නොවන නාගරික පන්තියකට ගාල්වීම සිදු විය. මෙමගින් ඉතා කෘත්‍රිම වශයෙන් ජීවන රටා ගොඩනැගීමක් දක්නට විය. එම ජීවන රටාවන් විසින් පොදු ග්‍රාමීය දැනුම හා ව්‍යවහාරය පීඩාවට පත්කිරීම හා එය සූරාකෑම ආරම්භ කරන ලදී. මෙම පන්තිය විසින් සිය අධ්‍යාපනික බලය සංස්කෘතික ප්‍රාග්ධන සම්පාදනයක් වෙනුවෙන් භාවිතා කරන ලදී. මෙම සංස්කෘතික ප්‍රාග්ධනය විසින් ග්‍රාමීය සංස්කෘතික අවකාශය හා ගැමියන් සූරාකෑම තදින් සිදු කරන ලදී. අධ්‍යාපනය ලද්දන් කෙරෙහි වන බියකින් ගම ඇලලී යන තත්වයක් ඇති විය. පොදුවේ සාමාන්‍ය අධ්‍යාපනය සියළු දෙනා විසින් අත් කරගත්ත ද එයින් පැවැති වැඩවසම් චින්තනය අහෝසි වූයේ නැත.

ස්වදේශික භාෂා වලින් අධ්‍යාපනය ලබාදීමේ බණ්ඩාරනායක කුමන්ත්‍රණය සම්පුර්ණයෙන්ම රටේ අනාගතය අඳුරු කර දමන ලදී. එමගින් ජාතියක් වශයෙන් ජාත්‍යන්තර මට්ටම සමග සම්බන්ධ වීමේ ඉඩ අහුරා දමන ලදී. ඒ තුළ ළිං මැඩි හීනමානික අධ්‍යාපනයක් රට තුළ ව්‍යාප්ත විය. එහි ප්‍රතිඵල ඉතා ඉක්මණින් 1971 දී දැකිය හැකි විය. ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද්දේ ද අධ්‍යාපනය ලබා පීඩකයන් බවට පත්ව සිටි පිරිසයි. එහි පීඩනය පිට වූයේ ප්‍රචණ්ඩත්වය ලෙසය. එය අධ්‍යාපන ක්‍රමයට හා සමස්ත ක්‍රමයට එරෙහි ප්‍රචණ්ඩත්වය මුල් කරගත් කැරල්ලක් බවට පත්විය. එයින් ද ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ පීඩක කාර්යය පිලිබදව වන උදාහරණ සපයයි.  

සාක්ෂරතාවයේ ඉහලින් ඇති රටක් වශයෙන් සිය අධ්‍යාපනය කිසි ලෙසකවත් සංවර්ධනය කරා යෙදවීමට ලංකාව සමත් වන්නේ නැත. එය රාජාණ්ඩු ක්‍රමයේ සිට යටත්විජිතකරනය දක්වාත්, නිදහසින් පසුවත් පීඩක උපකරණයක් පමණි. ස්වභාෂාකරණය මඟින් යලිත් වරක් ලංකාවේ අධ්‍යාපනය වැඩවසම්කරනයට ගොදුරු විය.

ඉතාම නිහීන ලෙස බයාදුවීම හා යැපීම අධ්‍යාපන ක්‍රමයේ දරුණු ප්‍රතිඵලයක් බවට පත්විය. දෙවන සූරාකෑම ආරම්භ විය. ඒ අධ්‍යාපනය මඟින් රට තුළ යපෙන්නන් බිහිවීම හා ඉතා අනතුරුදායක ලෙස සම්පත් සූරාකෑමයි. එය සිදු කරන ප්‍රධාන උපකරණය බවට පත් වූයේ රජයයි. අධ්‍යාපනය ලබන්නන් අති බහුතරයක් විශ්‍රාම වැටුප් සහිත රාජ්‍ය සේවය අපේක්ෂා කරණ ඉතාම නිවට යැපෙන්නන් බවට පත්විය. පුද්ගලික අංශයේ 3 දෙනෙක් විසින් එක් රාජ්‍ය සේවකයෙක් නඩත්තු කරන පහත් හා ලැජ්ජාසහගත තත්වයකට රට පත් කරන ලදී. ඒ තත්වයට රට ගෙන එන ලද්දේ මේ පීඩාකාරී අධ්‍යාපනය විසිනි.

අට පාස් රෝහල් කම්කරුවාගේ තර්ජනයන් හා පීඩනයේ සිට වෛද්‍යවරයා රහතුන් කෙනෙක් බවට පත් කරන දීනත්වය දක්වා රට ගෙන එන ලද්දේ මේ අධ්‍යාපනයේ ඇති පීඩාකාරී ස්වභාවයයි. කාර්යාලයක කාර්යාල කාර්ය සහායකගේ සිට කෝටි ගණන් මුදල් කොමිස් ලෙස ගන්නා ලේකම්වරු දක්වා බිහි කරන ලද්දේ මේ අධ්‍යාපනයේ පීඩාවයි. ලංකාවේ අධ්‍යාපනය විසින් කොන්දක් බිහි නොකරන ලද සාපයට උදාහරණ සපයන්නේ රාජ්‍ය සේවයයි.

පුද්ගලික අංශය ස්වභාවයෙන්ම සූරාකෑම මූලික කරගත් පිරිසකි. මෙම අධ්‍යාපන ක්‍රමය විසින් බිහි කරන ලද පුද්ගලික අංශයේ ක්‍රියාවලිය ගැන නිරන්තර ලිවීමක් අවශ්‍ය වන්නේ නැත. අධ්‍යාපන ක්‍රමය වෙනස් කල යුතු යැයි කෑගසන පිරිස මේ පිලිබදව වන අවබෝධයකින් ඇත්දැයි සොයා බැලීම වටී. රටක් ලෙස මෙම අධ්‍යාපන ක්‍රමය තුළ කිසිදු ඉදිරිගාමී අපේක්ෂාවන් බිහි වන්නේ නැත. ලංකාවේ උසස් අධ්‍යාපනය හා එහි ප්‍රතිඵල ගැන වෙනමම ලිවිය යුතු වේ. අධ්‍යාපනයක් අවශ්‍ය වන්නේ රටක් සංවර්ධනය සඳහා වන පුරෝගාමී මෙහෙවර ඉටු කිරීම සඳහා ය. ලාංකීය අධ්‍යාපනය පීඩක උපකරණයක් පමණි.