ද්භිද විද්‍යාත්මක නාමය - (Pasidium guajava)

හැදින්වීම

ලොව පුරා අතිශයින්ම ජනප්‍රිය පේර විටමින් සී, දල තන්තු හා කැල්සියම් බහුල පලතුරකි. දකුණු මෙක්සිකෝව සහ මධ්‍යම ඇමෙරිකාව ආශ්‍රිත ප්‍රදේශ නිජබිම කරගත් නමුත් එය දැන් ලොව පුරා පැතිරී ඇත. පේර අලුත් පලතුරක් මෙන්ම විවිධ ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගැනෙයි. කැබලි ලෙස ටින්වල ඇසිරීමටද, ජෑම්, ජෙලි, චට්නි, යුෂ, ක්‍රීම් තැවරු අයිස්ක්‍රීම් හා බේකරි නිෂ්පාදන සඳහාද ‍යොදාගනී.

දැනට ශ්‍රී ලංකාවේ ඇති සමස්ත පේර වගාව හෙක්ටයාර 400 - 500 අතර ප්‍රමාණයකි. හම්බන්තොට, මන්නාරම, පුත්තලම හා මොණරාගල දිස්ත්‍රික්කයන්හි වාණිජ මට්ටමින් පේර වගාව සිදු කරයි. ගෙවත්තටද ඉතා සුදුසු පලතුරු ශාකයකි. පෝෂණීය අගය
ඉදුණු මදය

ග්‍රෑම් 100ක අඩංගු දෑ
ජලය ග්‍රෑම් 81.7, ශක්තිය කිලෝකැලරි 51.0 ,මාංශ ජනක ධාතු ග්‍රෑම් 0.9, මේදය ග්‍රෑම් 0.3, පිෂ්ඨධාතු ග්‍රෑම් 11.2, කැල්සියම් මිලිග්‍රෑම් 10.0,  පොස්පරස් මිලිග්‍රෑම් 28.0,  යකඩ මිලිග්‍රෑම් 1.4, තයමින් මයික්‍රොග්‍රෑම් 30.0, රයිබොප්ලේවින් මයික්‍රොග්‍රෑම් 30.0,  නයසීන් මිලිග්‍රෑම් 0.4 , විටමින් සී මිලිග්‍රෑම් 212.0

දේශගුණය

මුහුදු මට්ටමේ සිට මීටර් 1500 - 2000 දක්වා තෙත් කලාපයේ මෙන්ම වියළි හා අතරමැදි කලාපවල පේර සාර්ථකව වගාකල හැක. වියළි කලාපයේ වර්ෂාව නොලැබෙන විටදී ජලය සැපයීම අවශ්‍ය වේ. උණුසුම් තෙත් කාලගුණයක් ඇති විට මල් හටගැනීම හිතකර වී අවුරුද්ද පුරාම ඵල දරයි. එහෙත් අධික වර්ෂාව දිගු කලක් ලැබෙන විට මල් හටගැනීම අඩුවේ.

පස

පේර ගස පුළුල් වූ පස් පරාසය වැවීමට පිළිවන. කාබනික ද්‍රව්‍ය සහිත ජල වහනය වන පස් වඩා සුදුසුය. නමුත් තද මැටි මෙන්ම වැලි අධික පස් වලද වගා කල හැකිය. ලවණතාවයට තරමක් ඔරොත්තුදීමේ හැකියාවක් ඇති අතර වෙනත් බෝග වගා කළ නොහැකි නොගැඹුරු භුගත ජල මට්ටමක් පවතින ස්ථානවලද තාවකාලිකව ජලයෙන් යටවන ස්ථානවලද පේර වගා කළ හැකිය.

පැළ සිටුවීම

පැළ සිටුවීමට යොදා ගන්නා ස්ථානය‍ හොඳින් ජලය බැස යන හා හොඳින් ආලෝකය ලැබෙන ස්ථානයක් විය යුතුය. මීටර් 5 - 6 x 5 - 6 පරතරයට, සෙන්ටිමීටර් 60 x 60 x 60 ප්‍රමාණයට වලවල් සකසා ගත යුතුය. වැසි සමය ආරම්භයත් සමඟ පැළ සිටුවීමට යොදා ගන්න. පැළ සිටුවීමට සති 2 - 3 ට පෙර මතුපිට පස්, දිරූ ගොම පොහොර හා දිරූ කාබනික ද්‍රව්‍ය මිශ්‍රකර වලවල් මුදුන් වන සේ පුරවා තබන්න. පොලිතීන් කවරය ඉවත්කර පැළය පොළව මට්ටමට සිටින සේ සිටුවිය යුතුය. සති 1 - 2 ක් පමණ යනතුරු සෙවන සපයන්න.

ගස් පුහුණු කිරීම හා කප්පාදුව

බද්ධ සංධියට පහළින් ග්‍රාහකයේ හටගන්නා සියලුම අතු හා මුලෙන් වැඩෙන රිකිලි කපා ඉවත් කරන්න. ගස් සෙන්ටිමීටර් 60 - 75 ක් උසදී අග්‍රස්ථය ඉවත්කර අතු 4 - 6 ක් ලබාගන්න. එම අතු සෙන්ටිමීටර් 25 - 30 ක් වැඩුණු පසු නැවත අග්‍රස්ථය ඉවත්කර ද්විතීක අතු සහිත හොඳ සැකිල්ලක් ලබාගන්න. මෙලෙස ගසෙහි උස සෙන්ටිමීටර් 125 - 150 ක උසකින් පවත්වා ගන්න.

අතු තිරස්ව වැඩුනු විට අත්තක හටගන්නා ඵල ප්‍රමාණය සෘජුව ඉහළට වැඩෙන අතුවලට වඩා වැ‍ඩිවේ. මේ සඳහා අතු ආනතව අංශක (45 - 60) පවත්වා ගැනීමටත්, ගෙඩි බරට අතු කඩා වැටීම වැලැක්වීමටත්, අතුවලට ආධාරක කෝටු සපයන්න. මේ අතු එකිනෙකට විරුද්ධ දිශාවලට සමබරව වැඩීමට සලස්වන්න. මීට අමතරව එකිනෙකට අවහිරවන අතු ඇත්නම් හා ග්‍රාහක රිකිලි හා සෙන්ටිමීටර් 60 - 75 ක් යටින් ඇති වූ අතුද ඉවත් කරන්න.

ගෙඩි කඩා ගැනීමෙන් පසු අළුත් වර්ධක අංකුර හටගැනීම උත්තේජනය කිරීම සඳහා සෙන්ටිමීටර් 15ක් (පත්‍ර යුගල 2 - 3 ක්) ඉවත් කරන්න. කප්පාදු කළ පසු අනිවාර්යයෙන්ම පොහොර යෙදීම හා ජල සම්පාදනය කරන්න. කප්පාදු චක්‍ර 2ක් අතර කාලය මාස 8 - 9 කි.

ඵල තුනී කිරීම

එක පොකුරක ගෙඩි 1 - 2 ක් ඉතිරිකර වැඩිපුර ඇති ගෙඩි ඉවත් කළ යුතුය.

ජල සම්පාදනය

පැළය මදක් දැඩිවන තෙක් ජල සම්පාදනය අවශය වේ. ඉන්පසු ඉතාම දැඩි නියං කාලයකට හැරුණු විට ජලය යෙදීම අවශ්‍ය නොවේ.

වල් මර්ධනය

බද්ධ පැළය වටා ඇති වල් ගලවා ඉවත් කළ යුතුය. වියළි කාළගුණයක් පවතින විට වසුනක් යෙදීම සුදුසුය.

තෝරාගන්නා ප්‍රබේදය රෙඩි ජයන්ට්

බැංකොක් ජයන්ට් x හොරණ රෙඩ් දෙමුහුමක් වන මෙම ප්‍රභේදයේ ශාක මධ්‍යස්ථ උසකින් (මීටර් 4 - 4.5 ) හා හොඳින් පැතිරෙන (මීටර් 4.5 - 5 ) ලිහිල් වූ වියනකින් සමන්විත වේ. අධික ලෙස ඵල දරන්නා වූ මෙම වර්ගයේ ගසකින් පළමු වසරේදී කිලෝ ග්‍රෑම් 40 - 45 (හෙක්ටයාරයකින් මෙට්‍රික් ටොන් 16 - 18 ) පමණ ද දෙවන වසරේදී කිලෝ ග්‍රෑම් 100 (හෙක්ටයාරයකින් මෙට්‍රික් ටොන් 40 ) කට නොඅඩු අස්වැන්නක් ද ලබාගත හැක. ගෙඩි ඉලිප්සාකාර (Oblong ellipsoid) හැඩයක් ගන්නා අතර ප්‍රමාණයෙන් විශාල වේ. ගෙඩිවල සාමාන්‍ය බර ග්‍රෑම් 250 - 400 අතර අගයක පවතී. ඉදෙන විට ලෙල්ල කොළ පැහැයට හුරු කහ පැහැයක් ගනී. ඵලයේ මදය රතු පැහැයක් ගනී. ගෙඩියේ හැඩ හා මදයේ වර්ණය හොරණ රතු ප්‍රභේදයට සමාන වනමුත් මෙම වර්ගයේ ගෙඩි ප්‍රමාණයෙන් ඉතා විශාල වන අතර ඉතා ඉහළ අස්වැන්නක් ද ලබාදෙයි. නැවුම් පලතුරක් ලෙස භාවිතයට ගැනීමේදී නිවැරදි අවස්ථාවේ මදය රත් පැහැයෙන් යුත් නිසා මෙම වර්ගය නැවුම් පලතුරු බීම පිළියෙල කිරීමට විශේෂයෙන්ම උචිතය.