විදර්ශන කන්නංගර

"රොනී ලීච්" අවසන් වරට මට හමු වූයේ මා පියාණන්ගේ අවමගුල් උත්සවයේදීය.ඔහු  සමග සමීපව කතා බහ කිරීමට එහිදී ඉඩක් නොලැබිණි.ඉන් පසුවද මගහැරිණි.දැන් ඔහු  අප හැර ගොසිනි.ඊනියා සම්භාව්‍ය වට්ටෝරුකාරයෙකුට රොනීව පෙනෙනු ඇත්තේ 'පීචං  පොරක්' ලෙසය.එහෙත් පැහැදිලිවම රොනී යනු සංකීර්ණ කලා රසිකයෙකි.ලංකාවේ පැරණි  නූර්ති,නාඩගම්,ටීටර් ඇතුළු ස්වර්ණමය සංගීත යුගයක් පිළිබද මනෝලෝකයක ඔහු  වැඩවාසය කළේය.ලංකාවේ ජනප්‍රිය සංගීත කතිකාවට ඔහු අනුරාගිකව බැදී සිටියේය.ඒ  ඉතිහාසය පිළිබද ඔහු ප්‍රාමාණික උගතකුද විය.එසේම යුරෝපීය හා  පෙරදිග සංගීතයේ විවිධ රැලි ගැන ද ඔහු දැනුවත් වීය.ඒ සියල්ලටම වඩා ඔහු  'ජොලි බට්ටෙකු' විය.මෙය කලකට පෙර මියගිය හර්බට් රංජිත් පීරිස් විසින්  තමන්වම හදුන්වා ගත් සන්නාමයකි.රොනී 'ජොලි බට්ටෙකු' වීමට ඔහුගේ වාර්ගික  සංස්ක්ෘතික සම්භවය (බර්ගර්) බොහෝ දුරට හේතු වූ බව නිසැකය.රොනී ජීවිතය  ප්‍රීතියෙන් වින්දනය කළ මිනිසෙකු වූ අතර හමුවෙන ඕනෑම කෙනෙකුව විනෝදමත්  කිරීමට නොපසුබට වීය.'තට්ටයා' ගීතය තුළින්ද ඔහු උත්ප්‍රාසාත්මක ලෙස පළ  කරන්නේ ඔහු තුළ වූ මෙම අභිරුචියයි.ඕනෑම මනුෂ්‍යයකුට පොදු ආත්මීය වේදනා  පක්ෂය ඔහුගේ ප්‍රීතිමත් ජීවිතය තුළ කෙසේ ලැගුම් ගෙන තිබුණාද යන කුකුස ඔහු  දකින බොහෝ විට මට පැන නැගී තිබුණි.එහෙත් ඔහු එය විසදීමට මට ඉඩක්  නොතැබීය.'සිනාසෙන බුදුන්' ලෙස ඔහු සදාකාලික වර්තමානය වින්දනය කළා විය  හැක.දේශපාලනිකව ඔහුව ව්‍යච්චේදනය කිරීමට සිත් නොදෙන තරමින් රොනී 'ප්‍රීතිය'  සතු මිනිස් වැදගත්කම අපට සිහිපත් කළේය.ප්‍රීතිය ආහාරයට ගත් මේ මිනිසා  ආභස්සර බඹලොවට චුත වී යාම මට වේදනාවකි."ඈතින් ඈතට" චිත්‍රපටියේ මෙම ගීතය  තුළ රංගනයෙන් දායක වන රොනීගේ දේහය හදුනා ගැනීමට ඔබට මදක් අපහසු විය  හැක.එහෙත් 'ජීවිතේ සරුංගලේ වාගෙ පාවෙලා" යැයි ගැයෙන මේ ගීය  තුළ ජීවන දහමක්  ලෙස  රොනී ලීච් රැදී සිටියි..එය හදුනාගැනීම නම් අපහසු නොවනු ඇත...