ඉෂාරා අබේගුණසේකර

රාජ් සෝමදේවගේ කැණීම් බලපත්‍රය අහෝසි කර හෝ තාවකාලිකව නවත්වා ඇත. මේ පිලිබඳව වන විවිධ මතිමතාන්තර හුවමාරු වේ. පුරා විද්‍යාව විද්‍යාත්මක ක්‍රමය මූලික කරගත් වර්තමානය වන විට ශුද්ධ විද්‍යා බහුතර මැදිහත්වීමක් ඇති විෂයයකි. ලංකාව පුරාවිද්‍යාත්මක ස්ථාන ලක්ෂ ගණනක් ඇති රටකි. එ් සෑම ස්ථානයක් මඟින් ලංකාවේ ඉතිහාසයීය හැසිරීම පිලිබඳ හරස්පද ප්‍රහේලිකාවේ කොටු විසඳයි. එක් ආකාර වචනයක් විසඳීම මගින් අනෙක් වචනය සඳහා ඉඩක් ලැබේ. විද්‍යාත්මක ක්‍රමය අනුව නම් මේ ප්‍රහේලිකාව සඳහා වන පදනම සකස් කර ඇතත් එහි නව වචන බිහිවීම් අඛණ්ඩව සිදු වේ. ඉන් අදහස් වන්නේ ප්‍රහේලිකාවේ හැඩයන් හැම විටම වෙනස් වෙමින් පවතින බවය. මේ වෙනස්වීමට ඉඩ ලබාදීම පුරා විද්‍යා දෙපාර්තමේන්තුවක කාර්යභාරය විය යුතුය. පුරා විද්‍යා දෙපාර්තමේන්තුව නියෝජනය කරන්නේ ලංකාවේ ලක්ෂ 220ක පුරාවිද්‍යා විෂයයීය ක්‍රියාවලියයි. එය එක්තරා ආකාරයකට ජනතාවගේ ඉදිරිගාමී බලාපොරොත්තුවයි.  එය කුමන පනත්, මතවාද, නීති යටතේ වුවත් ජනතාවගේ හිමිකමකි.

ලංකාවේ ඉතිහාසය බිහිවන්නේ යටත්විජිතකරණය නිසාය. ඊට පෙර ඉතිහාසය කියා විද්‍යාත්මක දෙයක් තිබුනේ නැත. ලංකාවේ සියළු විද්‍යාත්මක ව්‍යුහයන් ගොඩනැගෙන්නේ  මෙකී යටත්විජිතකරනයේ ප්‍රතිඵල වශයෙනි. ඉතිහාසය ගොඩනගන්නේ බලයට අවශ්‍ය ආකාරයෙනි.  බුදුන් ඉන්දියාව හා විජය මුලික කරගත් ඉතිහාසයක් යටත්විජිතකරනය තුළ බිහිවිය. එය එකම ඉතිහාසය බවට පත්ව තිබුණ ද පසුව වෙනස් විය. මේ වන විට විජයගේ ඉතිහාසය තිබියදී වෙනත් ඉතිහාසයක් ගොඩනැගේ. ඉතිහාසය ගොඩනැංවීම දේශපාලනිකය. එය විද්‍යාත්මක කාරණයක් නොවේ. බලයේ අවශ්‍යතාවය පරිදි වරින් වර ඉතිහාසයන් ලියැවේ. ඉතිහාසය එසේ වුව ඊට වඩා වැඩියෙන් ශුද්ධ විද්‍යාත්මක විෂයයක් ලෙස පුරා විද්‍යාව හඳුනාගත හැක. නමුත් ලංකාවේ ඉතිහාසය වෙනුවෙන් පුරාවිද්‍යාව ගණිකා වෘත්තියේ යෙදවීම ආරම්භයේ පටන් සිදු විය. කැණීම් බලපත් අහෝසි කිරීම යනු වාර්ෂික වාර්තා ලබානොදීමේ ගැටළුවක්ම නොවේ. මතුපිට පෙනෙන දේ යතාර්ථය නම් විද්‍යාවක් අවශ්‍ය වන්නේ නැත.

වතුර එය ලන බඳුනේ හැඩය ගන්නාක් මෙන් ලංකාවේ ඉතිහාසය, පුරා විද්‍යාව හා යටත්විජිතකරණයේ අවශ්‍යතාවය මත නිෂ්පාදනය විය. යටත්විජිතකරනයේ අවශ්‍යතාවය වූයේ තවදුරටත් සංස්කෘතිකමය, දැනුම්මය බලයක් පවත්වාගෙන යාමයි. ඒ සදහා වන කණ්ඩායම් ගොඩනැගීම සඳහා ලංකාවේ අධ්‍යාපනය බිහි විය.  පුරාවිද්‍යාව යනු ලංකාව තුළ වර්ෂ සිය ගණනක් ගොස් අවසන් කල හැකි විෂයයක් නොවේ.  එම නිසා ලංකාව පිළිබඳව වන අතීතමය දේවල් සඳහා විවෘත විද්‍යාත්මක ආකල්පයකින් සිටීම අවශ්‍ය වේ. එසේ සිටීම විද්‍යාත්මක ක්‍රමයේ මූලික රීතියකි. එය පුරාවිද්‍යාඥයාටත්, වෛද්‍යවරයාටත්, ඕනෑම පර්යේෂකයෙකුටත් පොදු තත්වයකි. නමුත් ලංකාවේ එය  කිසිසේත්ම එසේ වන්නේ නැත.

පශ්චාත් යටත්විජිත ලංකාව සම්ප්‍රදායික කණු දෙකක් උඩ සිය දැනුම් පදනම සකසයි. එකක් වන්නේ පැවැති වැඩවසම් ස්ථරය භාවිතා කිරීමයි. දෙවැන්න වන්නේ බටහිරට අවශ්‍ය දැනුම් නිෂ්පාදනය කිරීමයි. මෙම අවස්ථා දෙකෙන් එකක්වත් පොදු ලංකාව වෙනුවෙන් වැදගත් මෙහෙවරක් ඉටු කරන්නේ නැත. ඒ වෙනුවට සිදු වන්නේ ගල් ගැසුණු මතවාද හා යටහත් පහත් ඒකීය දැනුම් නිෂ්පාදනයක් සිදු වීමයි. මේ අවස්ථා දෙක තුළම සිදු වන්නේ අඛණ්ඩ නඩත්තු කිරීම් හා ඒකාකාරිත්වයන් බිහිවීමයි.

ලංකාවේ බිහිවී ඇති සියළු ආයතන  වැඩවසම්වාදයේ අවශ්‍යතාවයන් හා යටත්විජිතකරණයේ අවශ්‍යතාවයන් මත බිහිව ඇත. ලංකාව ඉන්දියාව සමග වෙළදාමට යම් සේ ගැලපුවේද ඒ ආකාරයෙන් ඉතිහාසය හා පුරාවිද්‍යාව තුළ ගැලපීම පාලකයින් විසින් සිදු කරන ලදී. මේ සඳහා වැඩවසම්වාදී නමුත් යටත්විජිතවාදයට හිස නැමූ පුද්ගලයින් භාවිතා කරන ලදී. වැඩවසම්වාදයේ ඇති තර්ක නොකර පිලිගැනීමේ එහෙයියන් විසින් ගොඩනැගූ ව්‍යුහ කළමනාකරණය කරන ලදී. පැවැති වැඩවසම්වාදයේ රදළකම්, බෞද්ධාගමික බලයන්, නව ව්‍යුහ තුළට ආරෝපනය විය.

එම නිසා ලංකාවේ බිහිවූ සියළු ව්‍යුහ දෙබිඩි ව්‍යුහ බවට පත්විය. මෙම ව්‍යුහ වල එල්ලී ගැලී සිටීම සඳහා රාජ්‍ය සේවයක්ද බිහි විය. ඒ සදහා වන කණ්ඩායමක් ද බිහිවිය. මේ කණ්ඩායම අද වන විට ලංකාව පාලනය කරමින් සිටී. පුරා විද්‍යා විෂයය ද ඒ තුළින් බිහි වූ ලාංකීය ඉතිහාසය ද නිර්මානය කරන ලද්දේ මේ පිරිස් විසිනි. බෙල් මහතාගේ බෑගය එසවූ පුද්ගලයා පසුව ලංකාවේ පුරාවිද්‍යා කොමසාරිස් ධුරය දරන ලදී.  මේ ආකාර ව්‍යුහ විසින් බිහි කරන ලද විජය, බුදුන් හා මිහිඳු මූලික ඉතිහාසය ලංකාවේ ඉතිහාසය බවට පත් විය. එසේම ඉතිරි සියළු විෂයයන් ද ඉන්දියානු හා යුරෝපා මූලික විෂයයන් බවට පත් විය.

ලංකාව දියුණු නොවන්නේ මෙන්න මෙකී දැනුම් හා ව්‍යුහ පද්ධතිය නිසා ය. මෙම දැනුම් පද්ධතිය බටහිර දැනුම් පද්ධතිය මෙන් චලනයෙහි යෙදෙන්නේ නැත. සංවර්ධනය වන්නේ නැත. සංවර්ධනය වන්නට දෙන්නේ ද නැත. එය එසේ වන්නේ ලංකාවේ ඉගෙන ගත හැකි යැයි සිතන සියළු දෙනා රාජ්‍ය විශ්වවිද්‍යාල වලට ගාල් කර මෙය මතවාදීමය වශයෙන් පොවා ඇති නිසාය. එම නිසා ස්ථිතික පුරාවිද්‍යාත්මක දිශානතියක ලංකාව හිර වේ.

මේ ස්ථිතික දිශානතිය ඇති කරන ලද්දන් විසින් ලංකාවේ විශ්වවිද්‍යාල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල ග්‍රහණය කරගෙන ඇත. වරින් වර පැමිනෙණ දේශපාලඥයින් විසින් මෙහි මහ පුටු වලට නිලධාරින් පත් කරමින් ඔවුන්ගේ වසර කිහිපයක දේශපාලන න්‍යාය පත්‍රද ඉටු කර ගනී. දේශපාලඥයින් විසින් කෙටිකාලීනව දූෂණය කරන මේ ව්‍යුහීය ස්ත්‍රිය සමස්ත කාලය තුළ විවාහක පුරුෂයින් වැනි ස්ථිතික නිලධාරින් විසින් අඛණ්ඩව දූෂණයට ලක් කරයි. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ කිසිත් නොමැති අඵලදායී රටක් බිහිවීමයි.

වෙනත් කෝණයකින් මේ දෙස බලමු. කළු සුදු බේදය ලෝකය පුරා වසර දහස් ගණනක් පවතී. එය ලංකාව වැනි රටක හඳුනාගත හැකි වන්නේ ස්වදේශික හා සංක්‍රමණික තරගය වශයෙනි. ලංකාවේ ඉතිහාසය ආර්යයන්ගෙන් පැවත එන ඉතිහාසයක් බවට වන මතය ස්ථාපිත කර ඇත. ආර්ය ශිෂ්ඨාචාර උත්කර්ෂයට නංවන මෙහි ස්වදේශිකත්වය පිටමං කරයි. ලංකාවේ අද වන තුරු සිංහල බෞද්ධ නාමයෙන් පවතින්නේ ද,  උතුම් සංස්කෘතිය නාමයෙන් පවතින්නේ ද, සම්ප්‍රදාය නාමයෙන් පවතින්නේද මේ ශිෂ්ඨාචාර ගැටුමයි. එනම් ආනාර්ය ආර්ය ගැටුමයි.

ආර්ය අනාර්ය ගැටුමේ පිහිටුවා රාජ් සෝමදේව දෙස බලමු. ඔහු තර්ක කරමින් සිටින්නේ ලංකාවේ තෙත්කලාපීය දියුණු මානවයෙක් ද සිටි බවයි. ඔහු ඒ සදහා කඳුකර උදාහරණ ගනී. කඳුකර උදාහරණ යනුවෙන් අදහස් වන්නේ ස්වදේශික උදාහරණයන්ය. මෙම කඳුකර උදාහරණ මගින් තැනිතලාවේ උදාහරණ ඇතැම් විට අභියෝගයට ලක් කරයි. පරණවිතාන මූලික පුරාවිද්‍යාව ඉන්දියාව හා බටහිර මූලික තර්කයක් ගෙන එමින් ස්ථාපිත කර ඇත්තේ මේ මුල් ආර්ය අනාර්ය ගැටුමයි. නිදහසින් පසු ඉතා දුර්වල ආකාරයෙන් මේ ගැටුම වරින් වර ඉස්මතු විය. නමුත් ලංකාවේ සමස්ත ඇකඩමියාව ආර්ය මතය දරන හෙයින් කිසි ලෙසකින් එය මතු වූයේ නැත. මෙහිදී අනාර්ය මතය නිවරැදි යැයි තර්ක කිරීමක් නැත. නමුත් මෙම මතය රටක පැවැතීම එහි ස්වදේශිකත්වයට වාසිදායක ලෙස බලපානු ඇත. ස්වදේශිකත්වය යනු මේ වන විට ලංකාවේ පවත්නා ග්‍රාම්‍ය විගඩම යනුවෙන් වැරදි වැටහීමක් අත් කරගත යුතු නැත. වර්තමාන පවතින්නේ අතිශය දේශපාලනීකරණය වූ පාදඩ ජාතිකවාදී ස්වදේශීකරණ මුලාවකි. ආර්ය දංකල්පය ද එසේම කිසිදු සාධනීය නොවන අධිපතිවාදී මතවාදයක පිහිටයි.

ලංකාවේ ආර්ය මතවාදී පාර්ශ්ව කිහිපයක් සිටිති. පළමු කොටස වන්නේ බෞද්ධ පූජකයින් හෙවත් සංඝයා වහන්සේලාය. ඔවුන් නියෝජනය කරන්නේ ඉන්දියානු චතුර්වර්ණ වල බ්‍රාහ්මණ කොටසයි. දෙවන කොටස වන්නේ බටහිර මූලික ඇකඩමික කණ්ඩායමයි. මෙම කණ්ඩායම අඛණ්ඩව බටහිරවාදී මතවාද ස්ථාපිත කරමින් ව්‍යුහ තුළ ආධිපත්‍යය දරයි. මෙම අධිපතිවාදී කොටස් විසින් ලංකාවේ දැනුම එකී මතවාදය මූලික කරගනිමින් හසුරවයි.

පැරණි ලංකාවේ සියළු සිංහල කොටස් විසින් මෙම ආර්ය සංකල්පය පිලිගන්නා/පිලිගෙන ඇත. පශ්චාත් යටත්විජිතකරනය විසින් ලංකාවේ පැරණි වැඩවසම්වාදය ආරක්ෂා කරන ලදී. මෙම පදනම තුළ ලංකාවේ බිහි කරන ලද්දේ ආර්ය සංකල්පය මුල් කරගත් පදනමකි. එහි පැරණි වැඩවසම් ව්‍යුහ වල පුද්ගලයින් බලයට පත්වීම, පවුල් මූලික තත්වයන් තිබීම දැකිය හැකි විය. ඒ පුද්ගලයින් මේ පශ්චාත් යටත්විජිතකරනයේ නායකයන් බවට පත්විය. ඒ පත්වීම බණ්ඩාරනායක, සේනානායක, රාජපක්ෂ, වික්‍රමසිංහ ආදී වලව් පවුල් වලින් පෙන්විය හැකි වේ. දේශපාලනිකව පමණක් නොව සියළු ව්‍යුහ තුළ මේ පිරිස් සිය බලය ස්ථාපිත කරන ලදී. ඇතැම් විටෙක 56 බල පෙරලිය මෙය වඩාත් සීඝ්‍ර කරන ලද බව සිතිය හැකිය. මේ කන්ඩායම් විසින් සිතා සිටින්නේ ලංකාව ඔවුන්ගේ බූදලයක් බවය. මෙවැනි බූදල් හිමිකරුවන් පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ මෙන්ම සියළු ක්ෂේත්‍ර වල සිටිති. වරින් වර ඔවුන් විසින් සිදු කරනු ලබන කාරණා රටේ විද්‍යාත්මක ගොඩනැංවීම් වලට අසාධාරණ ලෙස බලපායි. රාජ් සෝමදේවගේ කාරණය ද මෙහිම එක් අවස්ථාවකි.

වර්තමානයේ රට පාලනය කරන්නේ වික්‍රමසිංහ ප්‍රභූවරයා විසිනි. අග නාගරික මතවාද දරණ ඉතාම දරුණු ලෙස සිය පන්තිය වෙනුවෙන් සේවය කරන මොහු සිය පුද්ගලික උවමනාවන් දේශපාලනික උවමනාවන් බවට පත් කරගනිමින් රට කැඳ හැලියක් බවට පත් කරගෙන ඇත. මොහුගේ පුද්ගලික මැදිහත්වීම දෙවෙනි වන්නේ මහින්ද රාජපක්ෂට පමණි. බලයට පැමිණි පසු බලයේ හිමිකරුවන් ජනතාව බව ඔවුන් හිතාමතා අමතක කරති. බලය ඔවුන්ගේ පුද්ගලික හිමිකමක් ලෙස වැඩ කරති. පුරවිද්‍යාඥයින්ගේ බලය තනි පුද්ගලයෙකු සතු කරගෙන මේ ආකාර පර්යේෂකයින්ට කරන අඩන්තේට්ටම් අතීතයේ සිට මේ දක්වා සුලභ සිදුවීම් බවට පත්ව ඇත. එහි සුලභතාවය විසින් සාමාන්‍යකරණය කර ඇතත් මේ බලය ඔහුගේ පුද්ගලික බලයක් නොවන බවට හැඟවීම සිදු කල යුතු වේ.

පුරාවිද්‍යාව පැත්තේ මේසා පුද්ගලික බලයක් යොදවන්නේ ඇයි? රාජ් සෝමදේවගේ පටන් තහනම ඇති පුරාවිද්‍යාඥයින් විසින් සොයාගෙන ඇති නව කරුණු තාර්කිකව පෙලගැස්වීමේදී පැරණි දැනුම 80%කින් අහෝසිවීම සිදුවීම මෙම බලය යෙදවීමට හේතුවයි. මෙය සම්පුර්ණයෙන්ම සමාජ විරෝධී කාර්යයක් වන්නේ ඒ නිසාය. රාජ් සෝමදේව පොඩි ලොරියක් පුරවා සිය සොයාගැනීම් රැගෙන ගියත් එය නොපිලිගන්නේ ඇයි? ඔහු සහ අනෙක් නව පුරා විද්‍යාඥයින් විසින් කරන ලද කැනීම් වලින් අධිපතිවාදී පුරාවිද්‍යාත්මක දේශපාලනික මතවාදය අහෝසි වන බැවිනි. මෙම අහෝසිවීම ප්‍රගමනය පැත්තෙන් අත්‍යවශ්‍ය අහෝසිවීමකි. නමුත් ආසියාතික ඒකාකාරී අධිපතිවාදය රටක් ඉදිරියට ගෙන යන්නේ නැත.

හේතුව වන්නේ අධිපතිවාදයයි. අධිපතිවාදය හුදෙක් හීනමානයකි. එය ගොඩනැගෙන්නේ යටත්විජිතකරණය තුළ මෙම වැඩවසම් මිනිසුන් විෂයයහෙි ඇති වූ නොපිලිගැනීමයි. එය ලංකාව පුරා හීනමානයක් සේ පැතිර ගොස් ඇත.  ඇකඩමික අධිපතිවාදය විද්‍යාත්මක කාරණා වලින් අවසන් කිරීමේ හැකියාව මේ පිරිස සිය වැඩවසම් කුණු බලයෙන් නවතා ඇත. සෝමදේවගේ කාරණයේ එක් බළලෙක් මල්ලෙන් එලියට පනින්නේ මෙතැනිනි. හිටපු අධ්‍යක්ෂවරයෙකු කැණීම් බලපත්‍ර සදහා වන ඒකාධිකාරී අයිතියේ සිටී. ඔහු විසින් සිදු කරන ලද කැණීම් ස්ථාන වල යළිත් කිසි පුරා විද්‍යාඥයෙකුට අවස්ථා හිමි වන්නේ නැත.  එයට හේතුව කුමක්ද?

නව දැනුම විසින් පැරණි දැනුම විස්ථාපනය කරනු ලැබේ. ගරා වැටුණු වළව්කාරයින් නව වෙළද පන්තිය ආර්ථික හා දේශපාලන බලය අල්ලා ගන්නා විට ඉතිහාසයීය දේවල් වලින් පමණක් දමාගසන්නේ යම් සේ ද නව පුරාවිද්‍යාත්මක කැනීම් නිසා ඔවුන්ගේ ද පැරණි දැනුම් විජිතය සුණු විසුණු  වන කල්හි ඔවුන් විසින් කැණීම් බලපත්‍ර අහෝසි කිරීම් සිදු කරයි. මෙය පැවිද්දන් සිවුර පෙන්වා චණ්ඩිකම් පෑමේ අනෙකයි. සිවුරට ගරු කරන්න කියන්නාක් මෙන් ඔවුන් කියන්නේ පැරණි පුද්ගලයින්ට හා ඔවුන්ගේ දැනුමට ගරු කරන මෙනි. මේ පැරණි දැනුම විසින් රට අඛණ්ඩව අගාධයකට පත් කරන ලදී.

සංවර්ධනාභිලාෂී අදීන මතවාදයක් රටේ ස්ථාපිත විය යුතුව ඇත. එ් සදහා නව පර්යේෂණ, නව මතවාද අවශ්‍ය වේ. ඒ සදහා විද්‍යාත්මක පදනමක රට පිහිටිය යුතු වේ. පුරාවිද්‍යාඥයින්ගේ සභාව යනු එක් පුද්ගලයෙකු නොවේ. පුරාවිද්‍යා සභාව ද ලංකාවේ අනෙකුත් ආයතන මෙන් පුද්ගලවාදී වැඩවසම්භාවයෙන් ගැලවීගත යුතු වේ. එය විද්‍යාත්මක විය යුතු වේ.

ලංකාවේ පර්යේෂකයින්, දේශපාලඥයින් හා නමගිය අනෙක් අයගේ තරමට රාජ් සෝමදේව ද වැටී ඇත. ඒ වයසට යත්ම ආත්මීය විකාරයකට අයත් වීමයි. එය පසුගිය කාලසීමාවේ ලංකාවේ හිටපු සියළු නාමික මිනිසුන්ගේ දැකගත හැකි වූ දෙයකි. ඉහත කී වැඩවසම් පශ්චාත් යටත්විජිතවාදී දැනුම් බාධාකාරී පුද්ගලයින් සිය අවසානය තෙක් පන්තිමය හා වැඩවසම්මය ආස්ථානය තබාගනිමින් ජීවත් වෙති. නමුත් සෝමදේව වැන්නන් එය තබාගන්නේ නැතුව ජනතවාදී වීමට ගොස් සිය ඇඩමික ජීවිතය අහෝසි කරගනී.

පසුගිය සමයේ ලංකාවේ ජාතිකවාදී මූලයන්ගෙන් කිසිදු ඇකඩමික ආස්ථානයක් නොගන්නා පිරිසක් ආගම හා ජාතිකත්වය මුල් කරගනිමින් කටයුතු කරන්නට විය. මේ අය ඉතාම දැඩි මට්ටමේ හීනමානික පිරිසකි. ඔවුන් හට දේශපාලනය කිරීමට මතවාදයක් අවශ්‍ය නිසා සහ සිය යටත්විජිත හීනමානය අවසන් කරගැනීම සදහා "රාවණා" ආදී ස්වෝත්තම මතවාදයන් කරලියට ගෙන ආ පිරිසක් විය. සෝමදේව "ජනතාව" ලෙස හඳුනාගන්නේ මේ පිරිසය. ඇකඩමික පුද්ගලයෙකුගේ ජනතාව වන්නේ මේ ජනතාව නොවේ. අඩු තරමින් සාමාන්‍ය ජනතාව මේ ගණයට ඇතුලත් විය යුතු වේ. මේකී රාවණා ජනතාව යනු පටු දෙමළ විරෝධය හා නොහැකියාත්මක ග්‍රාමීයත්වය වීරත්වයේ තබන ලුම්පන් කණ්ඩායමකි. මෙයට උදව්කාරී මෙහෙවරක් ඉටු කරන්නේ ලංකාවේ ගම හා සමාජය තුළ සිය භූමිකාව අවසන් වීම නිසා නන්නත්තාර වී ඇති බෞද්ධ භික්ෂුන් වහන්සේලාය. රාජ් සෝමදේව සිය ප්‍රේක්ෂාව සකස් කරන්නේ මේ තුළ නම් අවසානයේ අබ සරණ අත් වේ.

එයට හේතුව වන්නේ මේ පිරිසගේ ඇත්තේ හුදෙක් ගැමි මතවාදයක් වීම හා ඒ තුළ සෝමදේවගේ ඇකඩමියාව අවසන් වීමයි. පොහොට්ටුකාරී මේ පිරිසට අයත්ව ලංකාවේ චරිත සෑහෙන ප්‍රමාණයක් නැත්තටම නැති විය. ආචාර්ය සෝමදේව මේ ගොඩට ඇද වැටිය යුතු නැත.  ඔහු ලංකාවේ ප්‍රාමාණික පුරාවිද්‍යාඥයා විය යුතු ය. ඔහුට පැත්තක් ගත නොහැකි විය යුතු වේ. ඔහුගේ මතවාදයන් සියල්ල විද්‍යාත්මක ක්‍රියාවලියක් තුළ ඔහු ඔප්පු කරනවා යැයි අප බලාපොරොත්තු වෙමු.