ඒ බොම්බායේ ග්‍රිගයුම් හී  ගොඩනැගිලි පහකින් යුතු “ලොහානා“ නිවාස පෙළ විය.එහි ජීවත් වූ කාන්තාවන් හත්  දෙනෙකු වර්ෂ 1959 දී සිය පොදු මිදුළට වී සාකච්ඡා කරමින් සිටියේ, මහල්  නිවාසයට සම්බන්ධ ඕප දූප නොවේ. සිය ජීවන තත්වය ආර්ථීක තත්වය යහපත් තත්වයට  පත්කරගෙන තම පවුල් වලට යහපත් ලෙස ජීවත් විය හැකි ජීවනෝපායක් ඇති කරන්නේ  කෙසේද යන්නය.

ඔවුන්ගේ ඒකමතික තීරණය වූයේ, තමන්ට ඇති හැකියාවක්  උපයෝගී කරගෙන මෙම ජීවනෝපාය කළ යුතු බවයි. ඔවුන්ට පෙනී ගියේ තමන්ට ඇති එකම  පිළිගත හැකි කුසලතාව “ඉවීම“ ඇතුළු මුළුතැන් ගෙයි “වැඩ“ බවය.

ඔවුන්  ඉන්දියානු සමාජයේ සාමාජිකයකු හා සමාජ සේවකයකු වූ ජගන්ලාල් කර්මාසී පරේක්  හමු වී රුපියල් 80 ක ණයක් ඉල්ලා ගත්හ. එයින් පපඩම් සකස් කිරීමට සදහා අවශය  අමුද්‍රව්‍ය හා මූලික උපකරණ කිහිපයක් මිළට ගත්හ.
1959 මාර්තු 15 වනදා  ඔවුහු පළමු පපඩම් පැකට් හතර සිය මුළුතැන් ගෙයි දී නිපදවූහ.ඒ පපඩම් පැකට්  හතර බූලේෂ්වර් වෙළඳ සැලේ දී, විකුණා ගන්නට ඔහුවූ සමත් වූහ.

මේ  ආරම්භයේ සිටම මේ කාන්තාවන් හත් දෙනා එක් ප්‍රතිපත්තියකට ඒකමතිකව එකඟ විය.  එනම් තම එකමුතුව හා වෙළඳාම විනාශ වී ගියද කිසිවකුගෙන් උදව් උපකාර හෝ ආධාර  ලබා නොගන්නා බවය.

ජගන්ලාල් පරේක් හෙවත් ජගන් බාබු ඔවුන්ගේ මඟ  පෙන්වන්නා වූ අතර, ඔහුගේ උපදෙස් පරිදි කාන්තාවෝ ප්‍රමිති දෙකක පපඩම්  නිපදවීමට පටන් ගත්තෝ ය.එකක් අඩුමිල වූ අතර ඕනෑම කෙනෙකුට මිළදී ගත හැකි  විය.අනෙක ඉහළ ප්‍රමිතියෙන් හා රසයෙන් යුතු මිල වැඩි නිෂ්පාදනයක් විය.  ජගන්ලාල් ඔවුන් ට විධිමත් ගිණුම්ක්‍රම හා ව්‍යවසාය සංකල්ප පවත්වාගෙන යාමේ  වැදගත්කම අවධාරණය කළ අතර, නිෂ්පාදන වල ප්‍රමිතිය කිසිඳු හේතූවක් නිසා අඩු  නොකල යුතු බවද අවධාරණය කලේය.

පළමු අවුරුද්දේ සීත වැසි මාස හතර තුළ  නිෂ්පාදනය ඇණ හිටියේය. එයට හේතූව පපඩම් පදමට වේලා ගන්නට උවමනා හිරු එළිය  අවම වීමය.ඉක්මනින් ඊට විසඳුමක් සෙවූ ඔවුන්, පපඩම් පදමට වේලා ගත හැකි උදුනක්  සකසා ගෙන නිෂ්පාදනය අඛණ්ඩ කළේය.

කාන්තාවන් ලෙස කටින් කට තම  ව්‍යාපාරය පිළිබඳ නිෂ්පාදන පිළිබඳ පණිවිඩය ඉතා සාර්ථක ලෙස පතුරවන්නට ඔවුන්  සමත් විය.පළමු මාස තුන වන විට සමූපකාර ක්‍රමයකට මාරූ වූ ඔවුන් සිය එකමුතුව  25 දෙනෙකු දක්වා වර්ධනය කර ගත්හ. පලමු වර්ෂයේ ඔවුන්ගේ වාර්ෂික විකුණුම  රුපියල් 6196 ක් විය. ඉතිරි වන හා කැඩෙන බිඳෙන පපඩම් සමූකාර සාමාජිකයෝ තම  ප්‍රෙයා්ජනයට ගත්හ.

මුවින් මුව හා ප්‍රාදේශීය පුවත්පත්වලින් ලද  ප්‍රචාරය  නිසා දෙවන වසර වන විට සාමාජික සංඛ්‍යාව 100 ත් 150 ත් අතර  කාන්තාවෝ එකතු වූහ.තුන්වන වසර අවසන එය 300 ඉක්මවිය.

මේ වන විට  ආරම්භක කාන්තාවෝ සත් දෙන පපඩම් නිෂ්පාදනය අතහැර සමූපකාරයේ අනික්  සාමාජිකාවන්ට අමුද්‍රව්‍ය සැපයීම කළේය.කාන්තාවෝ එම අමුද්‍රව්‍ය  තම  නිවෙස්වලට ගෙනගොස් පපඩම් නිෂ්පාදනය කරන ලද අතර, ඒවා ප්‍රමිතිය අනුව වර්ග කර  බර අනුව ඇසුරුම් කිරීම එක් තැනකදි සිදු කරන ලදි.

1961 දී බොම්බායේ ම මලාඩ් හී පළමු ශාඛාව ආරම්බ කිරීමට සමූපකාරය උත්සහ කළද එය අසාර්ථක විය.

වර්ෂ 1962 දී , රුපියල් පහක ත්‍යාගයක් තීරණය කර නිෂ්පාදන සඳහා සන්නාමයක්  තෝරාගැනීමට තරඟයක් සංවිධානය කරන ලදි.එහිදී “ලිජාට්“ (Lijjat -ගුජරාටී බසින්  මෙහි අර්ථය “රසය“ “මිහිර“ විය) යන නම තෝරා ගන්නා ලදි.ඒ සමඟම නිෂ්පාදනයේ නම  “ශ්‍රී මහාලී ග්‍රීහා උද්‍යෝග් ලිජාට්  පපඩම්“ ලෙස වෙනස් විය.එහි සරල  අර්ථය “ගෘහණියන් විසින් නිෂ්පාදනය කරන ලද රසවත් පපඩම්“ යන්නයි.

වර්ෂ 1962-1963 වාර්ෂික පිරිවැටුම රුපියල් 182,000 ක් විය.
වර්ෂ 1966  දී සංවිධාන ලියාපදිංචි කිරීමේ පනත (1860 දී සම්මත වූ) යටතේ,  සමාගමක් ලෙස ලියාපදිංචි කෙරිණි.ප්‍රජා සංවර්ධන හා ග්‍රාමීය කර්මාන්ත  කොමිසමේ සභාපතිවරයා පෞද්ගලිකවම ලිජාට් ව්‍යාපාරය නිරීක්ෂනය කළේය.එහි  සාර්ථක්වය හා උද්යෝගය නිසාම එය පරමාදර්ශී ග්‍රාමීය ව්‍යාපාරයක් බවට නිළ  වශයෙන් පිළිගැණුනු අතරරුපියල් ලක්ෂ අටක කාරක ප්‍රාග්ධනයක් හා බදු සහනයක් ඊට  ලැබුණී.

වර්ෂ 1968 දී සිය මහාරාෂ්ටයේ දී සිය ප්‍රථම බාහිර ශාඛාව  විවෘත කළ අතර එය ක්‍රමිකව රට පුරා ව්‍යාප්ත විය. ඒ සමඟම නිෂ්පාදන  විවිධාංගිකරණයට ලක් කළ අතර,1970 දශකය අවසන් වන විට එය නිෂ්පාදන 17 ක් දක්වා  වර්ධනය විය
1979 දී එහි අයිතිය හා ව්‍යූහය පිළිබඳ නෛතික ගැටළු  විසඳීයෑමෙන් සමූපකාර ව්‍යාපාරයක් ලෙස එහි තත්වය වඩාත් ස්ථීර විය. එහි  අභ්‍යන්තර නිෂ්පාදන ක්‍රියාවලියට දායක වන “සාමාජික සහෝදරියන්ට“ එම  ව්‍යාපාරය අයිති බව තීරණය විය.

1980 දී, ලිජාට් ව්‍යාපාරය සිය  නිෂ්පාදන පිළිබඳ ප්‍රදර්ශන හා විවිධ අංග ඉදිරිපත් කිරීම ආරම්බ කල අතර,සිය  ප්‍රචාරක ක්‍රියාවලියට නවීනත්වය මුසු කළේය.

80 දශකයේ කරන ලද අත්හදා  බැලීම් කිහිපයකින් පසු එය විදේශික ආකර්ෂණයට තම නිෂ්පාදන යොමු කළේය.මුලින්ම  ලිජාට් ව්‍යවසාය නිරීක්ෂණයට පැමිණී විදේශීය සම්භාවනීයයා 1996 දී පැමිණී  උගන්ඩා ජනාධීපතිවරයා විය.අනතුරුව එක්සත් රාජ්‍යය,එක්සත් ජනපදය,මැද  පෙරදිග,සිංගප්පූරුව, නෙදර්ලන්තය,හා තායිලන්තය දක්වා ලිජාට් නිෂ්පාදන වහා  ව්‍යාප්ත විය.

2001  දී එහි අපනයන ආදායම ඇමරිකන් ඩොලර් මිලියන 2.4 ක් විය.

2001 වර්ෂයේ දී ව්‍යාපාරය තවත් අභියෝගයකට මුහුණු දුන්නේ ය. ඒ ව්‍යාජ  නිෂ්පාදන වෙළඳ පලට ඒමය.එම වසරේ ජූනී මාසයේ දී බිහාරයේ දී පුද්ගයන් තිදෙනකු  ව්‍යාජ නිෂ්පාදන සමඟ අත්අඩංගුවට ගැණිනි.

එතැන් සිට තම ප්‍රචාරණයේදී නියම නිෂ්පාදන හඳුනාගත හැකි ක්‍රම පිළිබඳව පාරිභොගිකයා දැනුවත් කිරීමට ප්‍රමුඛත්වය දීමට පටන් ගත්තේ ය.

ප්‍රජා සංවර්ධන හා ග්‍රාමීය කර්මාන්ත පිළිබඳ කොමිසම පිරිනමනු ලබන  “විශිෂ්ටතම ග්‍රාමීය කර්මාන්තායත“ සම්මානය 1998-99 සිට 2000-2001 වර්ෂවල  දිනා ගත්තේ ලිජාට් ව්‍යවසායයි.2002 වර්ෂයේ දී ලිජාට් ව්‍යාපාරය පසුපස සිටි  කාන්තාවන්ට වසරේ ව්‍යවසාය කාන්තාව සම්මානය පිරිනැමුනේය. THE ECONOMIC TIMES  වෙතින් පිරිනැමෙන“සාමුහිකත්ව විශිෂ්ටතා සම්මානය“ ද දිනා ගත්තේ “ලිජාට්“  ව්‍යාපාරයයි.

වර්ෂ 1959 දී  මුළුතැන් ගෙයි “ඉවීම“ හා ධෛර්යය හැර වෙන  කිසිවක් නොතිබූ කාන්තාවන් හත් දෙනෙකු විසින් ඉන්දියානු රුපියල් 80 ක් ණයට  ගෙන ආරම්භ කරන ලද “ලිජාට්“ පපඩම් ව්‍යාපාරය, වර්ෂ 2010 දී වාර්ශීක  පිරිවැටුම ඉන්දියානු රුපියල් බිලියන 6.50 ක්(එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන  100 ඉක්මවන) දැවැන්ත ව්‍යාපාරයක් විය.එයින් රුපියල් මිලියන 290 ක් විදේශ  අපනයන ලාබ විය.

වර්ෂ 2015 වන විට ලොව පුරා ශාඛා 81 හා අංශ 27 ක්  ආරම්භ කරනඅ ලැබ ඇති අතර ඉන්දියානූ කාන්තාවන් 43 දහසකට ස්ථීර හා ආකර්ෂණීය  රැකියා සැපයීමට ව්‍යාපාරය සමත් ව ඇත්තේ ය.

ලාංකාවේ අති විශාල ලෙස  මුදල් පොම්ප කරමින්,රාජ්‍ය මැදිහත්වීම හා පහසුකම් මැද නිර්මාණය කරන  “ග්‍රාමීය ව්‍යවසාය ප්‍රවර්ධන“ වැඩ සටහන් පිළිබඳ නැවත නැවත සලකා බැලීමට  “ලිජාට්“ ව්‍යාපාරය අපට බල කරන්නේය.

-- ගාමීණී ඒකනායක
(අන්තර්ජාලය ඇසුරිනි)