සුමනා විජේරත්න

සත්ව සංහතිය ප්‍රාරම්භය හෝ නොඑසේ නම් එහි විකාශනය කාම රාග හෙවත් කැමති දෙයට ඇදීයාම යන සිද්ධාන්තය මත ක්‍රියාත්මක වේ. මෙම සිද්ධාන්තය ජීව අජීව යන සියළුම වස්තූන්ට පොදු වේ. ජීව වස්තූන් සවිඤ්ඤානක (සත්ව) සහ අවිඤ්ඤානක (ශාක සහ අනෙකුත්) යන කොටස් දෙකකින් යුක්ත වේ. සව්ඤ්ඤානක සත්වයන්ගේ ප්‍රාරාම්භක බැඳීම කාමයන් පහක් මුලික වශයෙන් මුල්කරගෙන එක පොදියක් (package) ලෙසින් ක්‍රියාත්මක වේ. මේ පහ නමි බැලීමට, ඇසීමට, ආග්‍රහණය කිරීමට, රස බැලීමට සහ ස්පර්ශ කිරීමට ඇති කැමැත්ත වේ. මේ කැමැත්ත ඒ ඒ කාමයන්ට ගොචර වන නිමිති අරමුණු කරගෙන ක්‍රියාත්මක වේ. මේ කාම නැමැති කැමැත්ත දෙසට ඇදී යාම හැම විටම හුදු ආත්මාර්ථකාමී චේතනාවක් මුල් කරගෙන සිදුවෙයි. මෙම සංසිද්ධිය තමයි ජීවිතයේ විකාශනය සහ සංස්කරණය නොනැවතී සිදු වන්නේ. මෙය අපි සංකාර හෙවත් පරිනාමය කියා හදුන්වමු. බුදු දහමේ මෙම පරිනාමය සරළ රේඛාවක් නොවන අතර එය රවුමක් හෙවත් නැවත පටන් ගත්ඨතැනට සංක්‍රාන්ති වන චක්‍රීය ක්‍රියාවලියක්.

විශ්වය නැමති පරිපථය තුළ සංසාරික පැවැත්ම පදාර්ථ සහ ජීව ශක්ති සංසරණය වෙමින් පවතිනවා. සත්වයින්, ගස්කොළන්, සහ සියළුම අංග විශ්වය නැමති පද්ධතියට අයත් සුවිශේෂීය අන්‍යතාවයන්ට හිමිකම් කියන අංශු ලෙස තමයි පෙනී සිටින්නේ. මේ අංශු වල ක්‍රියාකාරීත්වය ද එකිනෙකින් වෙනස් අනන්‍යතාවයන් විද්‍යමාන කරනවා. ඒක නියතයක්. එක සමාන නම් ඒවා එක පොදියක් ලෙස ඇලෙනවා. සතුන් ගහකොළ වෙන වෙනම අංශු ලෙස පවතින්නේ මේ වෙනස් කම නිසයි.

පදාර්ථ සහ ජීව ශක්තිය ක්‍රියාත්මක කරන යාන්ත්‍රනය තමයි “චිත්තං” හෙවත් සිතුවිලි ක්‍රියාකාරිත්වය ලෙස දක්වා ඇත්තේ. බුදු දහමේ විස්තර කරන්නේ චිත්තං නමින් ක්‍රියා ස්වරූපයක් මිස සිත නැමති නාම පදාර්ථයක් නොවේ. (දූරංගමමං .ඒක චරං..) ඉහතින් සදහන් කළ කාම පහේ (පංච කාම) ක්‍රියාවලිය සහ මනසේ තැන්පත් වන මතක සටහන් ද ඇතුලත් සලායතන ක්‍රියාකාරිත්වය තමයි මේ විශ්වයේ පැවැත්ම තීරණය කරන්නේ. කාම රාග නැමැති බන්ධනය විසින් එක කාම පොදියක පවතින එම පොදියේ අඩංගු සංඝටක වලට ගෝචර වන බාහිර සංගටක සමග බැඳ තබනවා. ජීවිතය යනු එම බන්ධනය මගින් ජීව පදාර්ථ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීමයි. ජීවිත ක්‍රියාවලියේ තීරණාත්මක සාධකය ජීව සහ චිත්තං හරි හරියට දායකව සැදුණු එකක්. එහිදී අපි මෙම ජීව යන්න ජාන ලෙසත් චිත්තං යන්න චේතනා හෙවත් කර්ම ලෙසින් හදුන්වමු. (කර්ම යනු ක්‍රියාත්මක සිත මිස සම්ප්‍රදායික ඉගැන්වීම් වල එන කරුමය නොවන බව වටහා ගත යුතුයි පැහැදිලිවම)

කාම රාග පොදිය නැමති තනි පුද්ගලයකු තුළ ක්‍රියාත්මක වන බැඳීම් හැම විටම ක්‍රියාත්මක වන්නේ ආත්මාර්ථය උදෙසා යි. බැලීම, ඇසීම ආදී සයවිද ක්‍රියාකාරකම් සවිඤ්ඤානක වස්තූන් හැම එකක්ම මෙම නීතියට අනුව ක්‍රියාත්මක වෙනවා. පරිනාමය පසුවට තබා අපි බලමු ජීවියෙකු ගේ උපත. අභිධර්ම ඉගැන්වීම් වලට අනුව, චිත්තං නැමති ශක්තිය සංසර්ගය සිදුවන අවස්ථාවේ දී චිත්ත ශක්තිය පදාර්ථ සමග සංයෝජනය වෙනවා. එනම් චිත්තය ජාන සමග සංයෝජනය වෙමින් ක්‍රියාත්මක වෙනවා. ඒ අවස්ථාවේ දී එම කළලයේ පවතින්නේ චිත්ත, භාව රූප සහ හෘද රූප යන ත්‍රිත්වයයි. ඉතිරි රූප කලාප සියල්ල බිහි කරනුයේ මෙම ත්‍රිත්වයේ සංයෝජනය මගින්. මොළයේ නිර්මාණය පසුව නිපදවෙන පදාර්ථයක් නිසා මොළය පදාර්ථ ගනයට ගතහැකිය. නමුත් මව්කුස තුළදී මොළය දත්ත ගබඩා නොකළ කම්පියුටරයක් වැනිය. එම නිසායි උපන් ගමන් දරුවකු ගේ සිතුවිලි ක්‍රියාකාරිත්වය රහතන් වහන්සේට සමාන කරන්නේ. ඇත්තටම එම සිතුවිලි ක්‍රියාකාරිත්වය ප්‍රභාශ්වරයි.

උපතේ පටන් මානව සහ සත්ව ඇතුළු සියළු සත්වයින්ගේ මතක ගබඩාවේ දත්ත තැන්පත් කරනු ලැබේ. එවා විවිධාකාර සමාජ චර්යා ධර්ම, රටා ඇතුළු සියළුම තොරොම්බල් අඩංගු වේ. හැබැයි මේ හැම දෙයක්ම උකහා ගැනීමට පදනම් වන්නේ අර එක් එක් පුද්ගලයා තුළ මුලින්ම හටගත් ත්‍රිත්වයට සාපේක්ෂ වශයෙන් ය. එහිදී චිත්ත නැමති කාම රාග පොදිය ශක්තියට අනුගකව, ජාන වල ඇති ‘භාව’ සහ ‘හෘද’ ( personality and emotions) රූප වලට අනුකූලව, එක් එක් පුද්ගලයාගේ පරිසරය විසින් මොළයට ඔබ්බවන තොරතුරු සහ දත්ත සංජානන ශක්තිය තිරණය වනවා. ඒවගේම එම සංජානනය කරගන්නා සංසිද්ධින්ට අනුකූල තාවයක් දැක්වීම හෝ එරෙහි වීම ද මුලින් කී ත්‍රිත්ව ශක්තිය මෙන්ම ලෝකීය බලපෑමවල ප්‍රබලතාවය උඩ තීරණය වෙනවා. ඒ අනුව මෙලොව එළිය බලන අනන්‍යවූ ජීවියා ලෝකය තුළ තව තවත් විපරිනාම වලට භාජනය වෙමින් තම අනන්‍යතාවයම පෝෂණය කරනවා. තවත් පැහැදිලි කරනවානම්, ලෝකයේ පදයට අනුව නැටීම හෝ ලෝකය පසෙක තබා තමාට අවශ්‍ය පරිදි නැටීම හෝ ලෝකය නැටවීමට වැඩ කිරීම විවිධාකාර යෙන්කරනවා.

මෙය තව දුරටත් විශ්ලේෂණය කරනවානම්, සෑම සියළු සත්වයෙක් තුළම ක්‍රියාත්මක වන කාම රාගය හෙවත් පංච කාමයන් දෙසට හැරීම යන සාධකය ස්වයංක්‍රියව ක්‍රියාක්මක වනවා. ඒවගේම ඒ හැම සත්වයෙක් තුළම එම ස්වයංක්‍රීය ස්වරූපය පාලනය කරගත හැකි ශක්තියක්ද අභ්‍යන්තරයේම තියනවා. අන්න ඒ පාලන ශක්තිය තමයි දේව යන පදයෙන් බුදුන් වහන්සේ හැදින්වූයේ. අධික කුසගින්නෙන් පෙළෙන කපුටෙකු ආහාර ටිකකට ලංවෙන විට ගලක් විසිකරොත් ඉවතට පියාඹන්නේ ඒ අර රස කාමයට ඇති කැමැත්ත පාලනය කර ගැනීමට ඌට ඒ දේව නැමති පාලන ශක්තිය උපකාර කරගෙන. මෙම උදාහරණය ඉදිරිපත් කලේ ජීවිතය පටන් ගන්න කාම පහේ පොට්ටනිය මුල්වීමට අනුගාමීව මේ පාලන ශක්තිය ද ජීවය තුළම පවතින එකක් බව පෙන්වා දීමටයි. මෙම පාලන ශක්තිය වුවද ජීවිතය තුළ එබ්බවී තිබුනද, එය වාත්තු කර පොලිෂ් කර ඔප් නංවනු ලබන්නේ පරිසරය නැමති සාධකය මගින්. කැමැත්ත දෙසට හැරීම සහ අකමැති දෙයින් වියෝජනය වීම පරිසර සාධක මත පන්නරය ලබන අතර, මොළයේ මතක ගබඩාවේ වර්ධනය සමග තව තවත් මැනීම් නිර්නායක ජීවිතය තුළට අනුගත වෙනවා. එසේම අර පාලන ශක්තියද සමාජ සම්මත සහ සාරධර්ම නැමති ලෝකීය පාලන නීති රීති වලන් ඔප මට්ටම් කරනවා. මෙම ක්‍රියාවලිය දිගින් දිගට සිදු වන්නේ මූලික වශයෙන් මවගෙන්, පවුල් තුළින්, අධ්‍යපනක්‍රමය තුළින්, සමාජයෙන්, පාලන තන්ත්‍රයෙන් ආදී වශයෙන්. මේ ආකාරයට ගලාගෙන යන ආකාරය පැවැත්ම හෙවත් සංසාරික ජීවිතය ලෙස හැඳින්වේ. මේ ක්‍රමයට අනුගතව ජීවිතය පාවීමට ඉඩ හැරීම පෘතග්ජන හෙවත් හුදී ජන ලෙස දක්වනවා. මෙහිදී සිදු වන්නේ මෙහි මුලින් සදහන් කළ ත්‍රිත්ව ක්‍රියාවලිය හෙවත් හෘද සාක්ෂිය සහ පෞරුෂය මත පිහිටා බිහිවුණු චිත්තය, ලෝකය විසින් මොළයේ මතක ගබඩාවට අප්ලෝඩ් කරන දහජරාව මගින් දූෂණය කරමින් චේතනා නිශ්පාදනය කරනවා. ඒ චේතනා වලට අනුකූලව වචන සහ ක්‍රියාකාරකම් සිදු කරනවා. ඒ තමා ලෝකය නැමැති සාමුහිකය පුද්ගල අංශු නැටවීම නැමති නාඩගම.

මෙම පෘතග්ජන සත්වයෝ සිටින තත්වය බුදු දහමේ “මෝහය’ ලෙස නම්කර තියනවා. මෝහය යනු ඉහතින් විස්තර කල ක්‍රියාවලිය ‘එකම මාර්ගය’ ලෙස මිත්‍යා රැවටීමක ඔවුන් ගිලී සිටීම. ඒ අනුව පංච ඉන්ද්‍රියන්ට ගොදුරු වන නිමිති වලට දක්වන කැමැත්ත සහ ඉන් ලබන ආශ්වාදයෙන් මත්වී, එම කැමැත්ත හෙවත් රාගී ස්වරූපය ලෝභය දක්වා පරිවර්තනය කරගනු ලබයි. ඉන් පසුව එම නිමිති තමන් සතු කර ගැනීම සහ යලි යලිත් එම ආශ්වාදයන් විදීමේ “අපේක්ෂාවක්” මුල් කරගෙන මසුරු බව ඇති කර ගනියි. අදාල නිමිති තමන්ගේ අභිමතය ඉටු නොකරන අවස්ථාව ද්වේශයක් උපද්දවා එය ක්‍රෝධය, වෛරය සහ පලිගැනීම් තත්වයන්ට පත් කරමින් කටයුතු කරයි.

මේ සියළු තත්වයන් ස්වයංක්‍රීයව සිදු වන අතර පෘතග්ජන ස්වභාවය තීරණය කරන සිතුවිලි සහ චේතනා සකස් කරන ලෝකීය ක්‍රම වේදය මෙයයි. මෙම ක්‍රම වේදය තුළ සත්වයින් අනන්ත කාලාන්තරයක් මුළුල්ලේ පැවැත්ම රදවමින් සංසරණය වෙමින් සිටීම සංසාර චක්‍රය ක්‍රියාත්මක වීම ලෙස හදුන්වයනවා. මෙසේ ලෝකය නැමති නාඩගම රගදක්වමින් ඔහේ ගලන අතට පාවෙනවා.

ඔහොම ඉන්න අතරතුර ඔය නාඩගම ප්‍රශ්න කරන පුද්ගල අංශු කලින් කලට බිහිවෙනවා. හැබැයි ඒ අය විවිධ උපක්‍රම සොයාගැනීම් කරමින්, විවිධ නියායන් ඉදිරිපත් කරමින් සහ ඒවා ක්‍රියාත්මක කරමින් තම තමන්ගේ ප්‍රශ්න කිරීම් වලට විසඳුම් තමන්ම ඉදිරිපත් කරනවා. ඒවගේම එම විසඳුම් මාර්ග ඔස්සේ ගමන්කරමින් ලෝකයට තම ක්‍රම වේදයේ ඇති සාථල්‍යභාවය ප්‍රත්‍යක්ෂ කරගැනීමට ඉඩ සලසනවා. එම ක්‍රමවේදයන් ගේ විශ්වීය බව, සර්වකාලීන බව සහ සර්ව සාධාරණ බව මත ඒවායේ පැවැත්ම, භාවිතය සහ සාකච්ඡාවට බඳුන් වීම තීරණය වනවා.

ඒ අය එක් එක් නම් වලින් හඳුන්වනවා. බුදු වරු, විමුක්ති කාමීන්, දාර්ශනිකයන්, සටන් කරුවන්, දඩබ්බරයන්, හිතුවක්කාරයින්, වීරයින් යන විවිධ නම් වලින් ඒ අය හදුන්වනවා. හැබැයි ඒ අයගේ ගමන් මාර්ගවල, ගමන් සදහා ද යොදාගත් මෙවලම් සහ ක්‍රම වේදයන් ගේ මෙන්ම ගමනාන්තයේද විවිධාකාර වෙනස් කම් තිබෙනවා. පොදු ගුණාකාරය වන්නේ මේ අයගේ සිතුවිලි සංස්කරණ ක්‍රියාවලිය ලෝකීය තොරතුරු සහ පාලන ශක්තීන් අභිබවා ගොස් ස්වකීය හෘද සාක්ෂිය සහ පුරුෂාර්ථ වලට අනුගතවීමයි. එහිදී මුලිකවම ලෝකීය සංසිද්ධි ප්‍රශ්න කිරීම අරඹනවා. එහිදී තම හෘද සාක්ෂියට අවනතව ලෝකීය සංසිද්ධි ප්‍රතික්ෂේප කරනවා. මෙන්න මේක තමයි උඩුගං බලා යනවයි කියල කියන්නේ.

සිදුහත් මුලින්ම කලේ එයයි. බමුණු සමාජය ප්‍රශ්න කරා වගේම බමුණු මිත්‍යා සංකල්ප පමණක් නොව එයට යටවී සිටි රාජ්‍ය බලය ව්‍යුහයම ප්‍රතික්ෂේප කරා. සොක්‍රටීස් කරෙත් එයමයි. මිනිසුන් අන්ධව අදහන, පවතින සමාජ ක්‍රමය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරා. සරදියෙල් කරෙත් ඒකමයි. තම නැගණිය දුෂණය කල අපරාධකාරුවන් හත් දෙනෙක් මරා දැමූ තරුණයා කලෙත් ඒකමයි. මේ උඩුගං බලා යන දිසාවට හැරීමේ සන්ධිස්ථානයයි. හැබැයි හැරුණු පලියට උඩුගං බලා යෑම නිමා කරන්නේ අතලොස්සක් පමණි. බොහෝ දෙනා එය තරණය අවසානය දක්වා ගෙන යන්නේ නැහැ. එයට ප්‍රධාන හේතුව ලෙස මා දකින්නේ එම ක්‍රම වේදයන්ගේ සර්ව කාලීන භාවයන්ගේ සහ සර්ව සාධාරණියත්වයන්ගේ පවතින අඩුපාඩු මෙන්ම ඒවාට එරෙහිව ක්‍රියාත්මක වන ලෝකීය බලවේග යන්ගේ කෘර භාවයයි. එසේ වුවද ඔවුන්ගේ පියසටහන් උඩුගං බලා යන සෙස්සන්ගේ ප්‍රයෝජනය උදෙසා ඉන්ද්‍රඛීලයන් සේ පවතිනවා. එහෙත් ඒවා මානව පැවැත්ම සදහා යොදා ගැනීමට සාධනීය අනුවර්තනයන් කටයුතු වෙනවා.

උඩුගං බලා යමින් තම ගමන විශ්වීය ක්‍රමවේදයක් භාවිතා කරමින් අවසානය දක්වාම මෙහෙය වූ උත්තරීතර විමුක්ති මාර්ගය සටහන් කලේ සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ ය. සිද්ධාර්ථ මේ උඩුගං බලා යන ගමන ආරම්භ කළේ තමා සතු භෞතික වස්තූන් සියල්ල අතහැර දමා ‘කිං සච්ච ගවේශී’ මේ ජීවිතයේ සත්‍යය කුමක්ද යන්න සෙවීමේ මාවත තුළින්. පුරා අවුරුදු හයක් තිස්සේ විවිධාකාර දාර්ශනිකයින් සහ ගුරුවරුන්ගේ ක්‍රමවේදයන් හැදෑරීම සහ ප්‍රායෝගික අත්හදා බැලීම් කරන ලදී. එහෙත් ඒවා තුළින් තමා සොයන සත්‍යය ඔහුට හමු නෙවුනි. අවසානයේ දී ඒ විමුක්ති මාර්ගයේ සනාතන සතය්‍ය තමා විසින්ම ප්‍රත්‍යක්ෂ කර ගන්නා ලදී. එය සිදු වුයේ බෝධි මූලයේ යේදී තමා ගේ මනෝහාවයට කුඩාකල සිටම බමුණන් විසින්ම තමාවෙත ඔබ්බවන ලද ‘බුද්ධත්වය ලැබීම නැමති අපේක්ෂාව’ නැමති ඉලක්කය ද විඝර්ශනය කිරීම තුළින්.

බුදුන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කළ චක්ඛුං උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි සහ ආලෝකෝ උදපාදි නැමති ක්‍රියාපටිපාටිය හෙවත් ‘අල්ගෝරිදමය’ උන් වහන්සේ විසින්ම සොයා ගත් පසුව සිදුහත් තවුසා බුද්ධ නැමති උත්තරීතර සිතුවිලි ක්‍රියාකාරිත්වයක හිමිකම පැවරුණි. එසේ ප්‍රවිශ්ඨ වීමේ උඩුගං බලා ගිය ඔඝ තරණය පරිනිර්වානයෙන් අවසන් විය.

බුදුන් වහන්සේ ගේ ගමන් මාර්ගයේත්, ජේසුස් වහන්සේ, සොක්‍රටිස් ඇතුළු දාර්ශනිකයන් ගේත්, ගාන්ධි, චේගුවාරා යන අය තුලත් ඇති පොදුගුණාකාරයක් වන්නේ ලෝකය නටවමින් යන ගමනට එරෙහිව තම හෘද සාක්ෂියට අනුගතව, තම චර්යාවන් මෙහෙයවමින් ලෝකයට ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කිරීමට තම පෞරුෂය හැරවීමට ඇති ධෛර්යයයි. මේ අය එකිනෙකාට සමාන කිරීමක් මවිසින් කොහෙත්ම නොකරන බව විශේෂයෙන්ම අවධාරණය කරනු කැමැත්තෙමි.

මීලගට කොටස
චක්ඛුං උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි සහ ආලෝකෝ උදපාදි නැමති ක්‍රියාපටිපාටිය හෙවත් ‘අල්ගොරිදමය’ අඩංගු බුදුන් වහන්සේ ගේ විමුක්ති මාර්ගය තුළින් සමාජ ප්‍රතිසංස්කරණ කරා යාම හෙවත් බුදුන්ගේ සමාජවාදය.

(මෙම සටහන අපවත් වී වදාළ කෝට්ටේ ශ්‍රි දේවානන්ද ස්වාමීන් වහන්සේගේ දේශනා සහ රේරුකාණේ චන්දවිමල හිමියන් ගේ අභිධර්මයේ මූලික කරුණු පොතේ සදහන් යම් යම් කරුණු අනුසාරයෙන් සකස් කරන ලද්දකි.)