සමරකෝන් පතිරාජ
වාරණයට මුහුණ දී සිටින්නේ පන්තිමය අර්බුදයකට මැදිවී සිටින පිරිසකි. ඔවුන්ට සුළු ධනේශ්වර විඥානවාදය සමග අරගලය ඇත්තේ දැනටමත් අවුල් වී ඇති සමාජ පන්ති ප්‍රශ්නය නිසා ය. සෑම රටක්ම පාහේ විඥානවාදය සහ ධනවාදය සමග සමගාමීව ගමන් කරන විට ලංකාව මේ දෙක අතර ගැටුම නිර්මාණය කරගන්නේ ඌන සංවර්ධනයෙන් බැටකන ජනතාවගේ අරගලයේ මාවත වෙනස් කිරීම පිණිස ය. තමන්ව සැබෑවට සූරාකන්නා පැත්තකින් සිටියදී ප්‍රතිවිරෝධයේ මාවත වෙනස් කිරීම සදහා ඊනියා සටන් පාඨ කරලියට ගෙන එමින් තිබේ. එසේ ගත් කල ජාතිවාදය, වර්ගවාදය, කුලවාදය මෙන් ම වාරණය, මාධ්‍ය නිදහස, ආගම්වාදය සහ විරෝධය යන සියලු විරෝධතාවන් සහ එකගතාවන් ධනේශවර අර්බුදය වසා ගැනීමට ම කරන ව්‍යාජ වැඩ ය. ධනවාදය නම් වූ මිත්‍යාව තුළ පවතින මිනිසාගේ පැවත්ම සදහා කරන සෑම වැඩක් ම මිත්‍යාවකි. මගේ චූන් මට ම චූන් මෙන් මිත්‍යාව සැපතකි. අරගලයකි. සටනකි. අමුතු ම වින්දනයකි. අනෙකා නැතුව සැපතක් නැත. අනෙකෙක් නැත්නම් අනෙකා නිර්මාණය කරග යුතු ය. ඉන් පසු කුලප්පු කරගත යුතු ය. එවිට එකට නට නටා සිටිය හැකි ය. ධනවාදය විසින් සකස් කරදෙන අනෙකා කොතරම් සංකීර්ණදැයි වටහා ගැනීමට නම් හැකි තරම් පසු පසට ගොස් බලා සිටිය යුතු ය.