ඩෝසන් ප්‍රීති

ද්‍රව්‍යමය මොළය හා මොනයම් හෝ ආකාරයකින් විඥානය හෝ මානසික ක්‍රියාකාරිත්වය සබැඳී ඇති බැව් අතිශය ප්‍රචලිත පිළිගැනීමකි. ක්වොන්ටම් සිද්ධාන්තය ද්‍රව්‍ය පිළිබඳව දැනට සොයා ගෙන ඇති ප්‍රමූලිකම සිද්ධාන්තයක් බැවින් විඥානය පිළිබඳව කිසියම් පැහැදිලි විග්‍රහයක් ඉදිරිපත් කරන්නට එයට හැකියාවක් ඇත්දැයි කිසිවෙකු ප්‍රශ්න කිරීම යුක්තිසහගතය.

මේ ප්‍රශ්නයට විවිධාකාර එළඹුම් ඔස්සේ ලබා දී ඇති පිළිතුරු කීපයක් පසුගිය දශක දෙකක පමණ කාලයක සංවර්ධනය වෙමින් පැවති හෙයින් ඉන් කීපයක් සසඳා බැලීමටය මේ විමර්ෂණය. මෙහිදී අවධාරණය කළ යුතු කාරණාවක් වන්නේ මේ විවිධ ක්වොන්ටම් සිද්ධාන්ත ආශ්‍රිත විග්‍රහයන් එකිනෙක වෙනස් ඥානවිභාගාත්මක උපකල්පන ඔස්සේ ස්නායු-භෞතවේදීය මට්ටම් වලින් විස්තර සාධනය කොට ඇති බවයි. එම විවිධ එළඹුම්වල විග්‍රහයන් ඔස්සේ ඒවායේ පවතින ගැටළු මෙන්ම සාධනීය අංග ද මේ ලිපියේ දී මතුකර දක්වන්නට උත්සාහ කෙරේ.

1-හැඳින්වීම

ද්‍රව්‍ය සහ විඥානය එකිනෙකට සම්බන්ධ වී ඇති ආකාරය පිළිබඳ ගැටළුවට විවිධාකාර මුහුණුවර ඇති හෙයින් ඒ කරා එළඹෙන්නට ද විවිධාකාර ඇරඹුම් ලක්ෂ්‍ය ඇත්තේය. ඇත්ත වශයෙන්ම ඓතිහාසිකව මෙම ගැටළුව කරා මූලිකව අවධානය යොමු කරන්නේ දර්ශන විශය ක්ෂේත්‍රය සහ මනෝවිද්‍යා විශය ක්ෂේත්‍ර වන අතර පසු කලෙක චර්යා විද්‍යාව ඥානනය පිළිබඳ විද්‍යාව සහ ස්නායු විද්‍යා යනාදී ක්ෂේත්‍රවල සම්බන්ධ වීම ද සිදුවේ. ඊට අමතරව සංකීර්ණ පද්ධති භෞතිකය සහ ක්වොන්ටම් භෞතිකය ද උත්තේජනාත්මක ආකාරයේ අතරමැදි වීමක් මෙම ඓතිහාසික සාකච්ඡාවට එකතු කර ඇත.

සංකීර්ණතාව පිළිබඳව ඇගයුම් වෙද්දී මෙය වඩාත් ප්‍රත්‍යක්ෂ වේ. මොළය යනු අප දන්නා පද්ධති අතර අතිශය සංකීර්ණතම පද්ධතියකි. සංකීර්ණ පද්ධති පිළිබඳ එළඹුම වඩාත් ඵලදායි ප්‍රතිඵල අත්කර දෙන්නේ ස්නායු ජාල අධ්‍යයනය සහ එම දැනුම ඒකීය නියුරෝන සෛලයක ක්‍රියාකාරිත්වයට දක්වන සම්බන්ධය සහ අනෙකුත් වැදගත් මාතෘකා පිළිබඳව අවධානය යොමු කරද්දීය. ක්වොන්ටම් භෞතිකය පිළිබඳ අවධානය යොමු කරද්දී ක්වොන්ටම් සංසිද්ධි සහ උපයෝගීතාවය මොළය හෝ වෙනත් ඕනෑම ද්‍රව්‍ය ලෝකයේ පැවත්මක් ඇති දේකට යෙදිය හැකි වීම ගැන කිසිදු ආකාරයක සැක සංකාවක් හට නොගන්නේ ඇවැසි නම් එම සිද්ධාන්ත ජීව විද්‍යාත්මක පද්ධති තුළට පවා අදාල කරගත හැකි බැවිනි. එනමුත් මෙම සංසිද්ධි කොතරම් දුරට මොළයේ ක්‍රියාකාරිත්වයේ සහ මානසික ක්‍රියාකාරිත්වයේ අන්තර්සම්බන්ධතාව හෙළි කරන්නේ ද යන්න විවාදාත්මක බැව් සඳහන් කළ යුතුමය.

විසිවන සියවසේ මුල් කාල පරිච්ඡේදයේ ක්වොන්ටම් සිද්ධාන්තය සහ විඥානය අතර සම්බන්ධතාවයේ ප්‍රාරම්භක පෙළඹවීම ඉඳුරාම අතිශය දාර්ශනික විය. සමස්තයක් වශයෙන් සියල්ල නිරවද්‍ය ලෙස නිර්ණය කළ හැකි ලෝකයක් තුළ විඥානය තුළින් ස්වතන්ත්‍ර සිතුවිලි ජනනය වන්නේ යැයි සිතුමම තරමක් ගැටළු සහගත ව්‍යාජයක් ලෙස පෙනෙන හෙයින් ක්වොන්ටම් අහඹුතාවය විසින් ස්වතන්ත්‍ර සිතුවිලි ජනනය ගැන නැවුම් බලාපොරොත්තු ඇති කරවන සුළුයි. (අනෙක් අතට අහඹුතාවයම ස්වච්ඡන්දය කෙරෙහි ගැටළු නිර්මාණය කරයි!)

ක්වොන්ටම් සිද්ධාන්තය අපගේ කලින් පැවති නිශ්චිත ලෝක දැක්ම වෙත ඊට එරෙහිව අහඹුතාවය නමැති අංගයක් එකතු කළ බැවින් එම අහඹුතාවය සත්‍ය වශයෙන්ම එම ලෝක දැක්මට අදාල වූයේ නම් සවිස්තරාත්මකව ලෝකය වටහා ගැනීමෙන් මිදී එය නොසළකා හළ තත්වයකට අප පත්වන බව ඉන් ගම්‍ය වේ. අපගේ නොසැළකිල්ල හෝ නොදැනුවත්කමින් ස්වාධීනව ක්වොන්ටම් අහඹුතාවයේ ක්‍රියාකාරිත්වය එබඳු ඥානවිභාගාත්මක අහඹුතාවයක් ඉක්මවා උදාහරණ වශයෙන් ආලෝක අංශුවල ස්වයංසිද්ධ මුක්ත වීම හෝ විකිරණශීලී ක්ෂය වීම හෝ වෙනත් තත්ව හෝ ගතික ඌණනයන් ස්වාභාවික ලෝකයේ මූලික ධර්මතා ලෙසම පවතිනු ඇත. වඩාත් නිවැරදිව එබඳු සංසිද්ධි තනි තනි ක්වොන්ටම් සංසිද්ධි ලෙස එම හැසිරීම් ඒකාකාරී රටාවකට අනුව සංඛ්‍යාත්මකව නිර්ණය කළහැකි වනු ඇත. තනි තනි ක්වොන්ටම් සංසිද්ධිවල පවතින අවිනිශ්චිතතාවය සංඛ්‍යාන නීති මත රඳා පවතී.

විඥානය පිළිබඳ සාකච්ඡාවේ දී වඩාත් ආකර්ෂණීය වන ක්වොන්ටම් සිද්ධාන්තයේ පවතින අනෙකුත් ගතිගුණ වන්නේ අනුපූරකතාව පිළිබඳ සංකල්පය සහ පැටලිල්ල නම් වූ සංකල්පය යි. ක්වොන්ටම් භෞතිකයේ පුරෝගාමීන් වන ප්ලාන්ක්-බෝර්-ෂ්‍රෝඩිංගර්-පෝලි සහ අනෙකුත් අය උධෘත කළේ පෞරාණික මතවාදයක් වූ භෞතික නිශ්චිතතාවය සහ විඥානයේ ස්වතන්ත්‍රභාවය පිළිබඳ ගැටළුවට විවිධාකාර ප්‍ර වේශයන් ක්වොන්ටම් සිද්ධාන්ත ඇසුරෙන් නැවතත් සළකා බැලිය හැකි බවය.

මෙම දායකත්වය ඔස්සේ විඥානය පිළිබඳ හැදෑරීම් වෙතට ක්වොන්ටම් සිද්ධාන්තයේ ජනප්‍රිය එළඹුම් කීපයක යෙදුම් විමර්ෂනය කරනු ලබන අතර ඒවායෙන් බොහොමයක් කාල්පනික දෑ වන අතර ඒවා විවිධ මට්ටම්වලින් විඥානය පහදා දෙන්නට ශක්‍යතා පෙන්වා ඇත. 2 කොටසේ දී ද්‍රව්‍ය සහ මානසික තල අතර පද්ධතිමය වශයෙන් ඇති සබැඳියාව පිළිබඳ විමසන්නේ එකිනෙකට වෙනස් දාර්ශනික විකල්පයන් දෙකක් ඔස්සේය. 3 වන කොටසේ දී සාකච්ඡා කරනු ලබන්නේ එකිනෙකට වෙනස් ස්නායු භෞතවේදයන් ත්‍රිත්වයක් හරහා ක්වොන්ටම් එළඹුම් සම්බන්ධතාවයන් ගැනය. මූලික හඳුන්වා දීම් ස්වල්පයකින් පසුව 4වන කොටසේ දී ඒවායේ තනි තනි ප්‍රවේශයන් සාකච්ඡා කෙරේ. 4.2 ස්ටාප් 4.3 උමෙසාවා සහ වීටීලෝ 4.4 බෙක් සහ එක්ලෙස් 4.5 පෙන්රෝස් සහ හැමර්රෝෆ් 4.6 පෝලි සහ යුං විසින් යෝජිත සහ බෝම් සහ හිලී විසින් ද යෝජිත ද්විත්ව දෘශ්ටිමය එළඹුම පිළිබඳව ද 4.7 දී සංශුද්ධ වශයෙන්ම විඥානමය සංසිද්ධි ගණිතමය ලෙස ලක්ෂණනය කර ක්වොන්ටම් ව්‍යුහයන් තුළින් පැහැදිලි කිරීමක් ද 5වන කොටසේ දී එම සියළු සංකල්පයන් පිළිබඳ සංසන්දනාත්මක විග්‍රහයක් ද වේ.

  1. දාර්ශනික උපකල්පනයන් පිළිබඳ පසුබිම

අතිශය විචිත්‍ර සහ ද්‍රව්‍ය පද්ධතියක උසස්ම සංවර්ධනාත්මක අවධිය ලෙස හඳුනා ගත හැකි මොළයේ මනස හෝ විඥානය පහළ වීම එහි ප්‍රාථමික මට්ටමේම සවිස්තරාත්මක විග්‍රහයන්ට අනුව ද්‍රව්‍ය සහ විඥානය අතර වූ බෙදුම ගැන විවිධාකාර වූ සාක්ෂි සපයන්නට සමත් වන්නේය.

මේ සියළු සාක්ච්ඡාවන්හි වැදගත් අරමුණක් වන්නේ ද්‍රව්‍ය සහ මනස අතර සබැඳියාව පිළිබඳ ව්‍යක්ත සහ ව්‍යාකෘත එළඹුම්වල වෙනස යි. උදාහරණයක් ලෙස සහසම්බන්ධනය යනු අනුභූතික අදාළත්වයකින් යුතු ව්‍යක්ත යෙදීමක් වන අතර හේතුඵල සම්බන්ධතාවය ව්‍යාකෘත යෙදීමක් ලෙස සහසම්බන්ධතා සෛද්ධාන්තිකව වටහා ගන්නට උත්සාහ කරද්දී භාවිත වේ. හේතුඵල සම්බන්ධතාවය හේතුව සහ ප්‍රතිඵලය අතර සහසම්බන්ධතා යෝජනා කරන නමුත් මෙය ප්‍රතිවර්ත්‍ය ලෙස සැමවිට ම සත්‍ය නොවේ- පද්ධති දෙකක් අතර සහසම්බන්ධතා සෘජු හේතුඵලකාරක සම්බන්ධතාවයක අන්තර්ක්‍රියාවක්ම වීමට වඩා එහි ඓතිහාසික තත්වයන් ඔස්සේ පොදු හේතුවක් නිසා ද හටගත හැකිය.

කෙනෙක් මූලික විද්‍යාවේ පසුබිම තුළ හේතුඵල සම්බන්ධතා ගැන කතා කරන්නේ අන්තර්ක්‍රියාවන් ලෙසිනි. භෞතික විද්‍යාවේදී උදාහරණයක් වශයෙන් මූලික ලෙසම පවතින අන්තර්ක්‍රියාවන් හතරක් වේ. එනම් විද්‍යුත් චුම්බක-දුර්වල-ශක්තිමත් සහ ගුරුත්ව යනාදී වශයෙන් වූ මෙම අන්තර්ක්‍රියාවන් භෞතික පද්ධති තුළ සහසම්බන්ධතාවන් පැහැදිලි කර ගැනීමට ඉවහල් වේ. ද්‍රව්‍ය සහ මනස අතර ගැටළුවට අදාලව තත්වය වඩාත් බැරෑරුම් වේ. මෙම ක්ෂේත්‍රය තුළ පවත්නා සෛද්ධාන්තික අවබෝධයෙන් ඔබ්බට නොගොස් පවතින දැනුමේ මුලාශ්‍රයන් තුළ අත්‍යාවශ්‍ය ලෙසම අන්තර්ගත වන්නේ ද්‍රව්‍ය සහ විඥානය පිළිබඳ අනුභූතික සහසම්බන්ධතාවයන් පමණි. මෙම සහසම්බන්ධතා ව්‍යක්ත වන අතර ව්‍යකෘත නොවේ-ඒවා හේතුභූතාත්මක ලෙස හේතුඵලවාදී නොවේ.( These correlations are descriptive, not explanatory; they are not causally conditioned.) ඒවා සමහර අරමුණු කෙරෙහි ජනනය වන මානසික තත්වයන් මොළයේ විවිධ පෙදෙස් හි සිදුවන ක්‍රියාකාරි පිබිදීම් සිදුවන අයුරු පෙන්වා දෙන නමුත් ඒවා එසේ වන්නේ ඇයිදැයි විග්‍රහ නොකරයි. එමනිසා මනස සහ ද්‍රව්‍ය අතර අන්තර්ක්‍රියා පිළිබඳව හේතුඵල සම්බන්ධතා ඔස්සේ සාකච්ඡා කිරීම අපරිණත හෝ නොමේරු උත්සාහයක් විය හැකිය. සංකේතාත්මක සුපැහැදිලිතාවය උදෙසා ද්‍රව්‍ය සහ විඥානය අතර සම්බන්ධතා මධ්‍යස්ථ හෝ උදාසීන ලෙස විශය ගෝචර කර ගැනීම මෙම ලිපියේ භාවිතාවයි.

බොහෝ එළඹුම්වල ද්‍රව්‍යමය මොළයේ තත්ව [ma] සහ විඥානයේ මානසික තත්ව [me] අතර සම්බන්ධතා සාකච්ඡා කරන්නේ සෘජු ආකාරයකටය.

මෙම ආකෘතිය අවම රාමුවක් ලෙස ක්‍රියාත්මක වන්නේ ඌණනය -අනපේක්ෂිත සංවර්ධනාත්මක අවධි-උත්පාතන සම්බන්ධතා යනාදී වූ ද්වෛතවාදී සහ අද්වෛතවාදී යනාදී වූ දෙආකාර ආස්ථානයන් හැදෑරීමටය. උදාහරණයක් වශයෙන් දැඩි ඌණීත සම්භාවනීය ආස්ථානයක් වශයෙන් මානසික තත්වය සහ එහි නෛසර්ගික ගුණ ද්‍රව්‍ය විශය ක්ෂේත්‍රය තුළට ඌණනය කළ හැකියැයි පැවසෙන ද්‍රව්‍යවාදී ස්ථාවරය හෝ භෞතික ස්ථාවරය සැලකිය හැකිය. මෙම දෘශ්ටිකෝණය විදහා දක්වන්නේ ද්‍රව්‍ය විශය ක්ෂේත්‍රය ගවේශණය අවශ්‍ය සහ ප්‍රමාණවත් ලෙස භාවිතා කිරීමෙන් මොළයේ මානසික ක්ෂේත්‍රය හෝ අවබෝධය ලබා ගැනීමේ ක්‍රියාදාමය (ප්‍රජානනය) වටහා ගන්නට හැකියාව නිර්මාණය කරනු ලබන බවයි. බොහෝ දුරට මෙම දෘශ්ටිකෝණයෙන් අද්වෛතවාදී රාමුවට එනම් කිසිවෙකු මානසික තත්වයන් පිළිබඳව කෙරෙනු ලබන සාකච්ඡාව ඉන් මුදා හැරීමක් හෝ ද්‍රව්‍ය කෙරෙහි ඇති ක්‍රියාවේ අතුරුඵලයක් ලෙස වටහා ගන්නා අවස්ථාවක් බවට ඌණනය වේ. එනම් අන්වාභාසමය (epiphenomenal) තත්වයකට එම සාකච්ඡාව යොමු වේ.

මේ තත්වය තුළ මනස-මොළය අතර සහසම්බන්ධතා අන්වාභාසමය දෘශ්ටිකෝණයකින් බැලුවත් හේතුඵල සම්බන්ධතා පිළිබඳ එළඹුම අසමර්තකම් පෙන්වන අතර හුදෙක් බැහැර කිරීමක් ලෙස ද්‍රව්‍යවාදී ස්ථාවරයේ සහසම්බන්ධතා පවා අදාළ නොවන තත්වයකට පත්වේ.

බොහෝ විට සංවාදයට බඳුන් වී ඇති එවැනි දැඩි ඌණිත එළඹුමක් කෙරෙහි නැගී එන ප්‍රතිතර්කයක් වන ක්වේලියා තර්කය (ක්වේලියා එනම් මනසේ විශය වර්ණනාවිෂයාතික්‍රාන්ත වීම හෝ වචන වලට හැරවීමේ නොහැකියාව හෝ මනෝවිශ්ලේෂණාත්මකව යථමය තත්වය) සිය අවධානය යොමු කරන්නේ ද්‍රව්‍යවාදී ගණනය කිරීම් හරහා මානසික තත්වයන් පිළිබඳව කරනු ලබන ප්‍රමාණාත්මක හැදෑරීම් ආත්මීයත්වයට අදාල අත්දැකීම් නිර්වේෂණය කෙරෙහි එනම් එය කුමක් වැනි දැයි පැහැදිලි කිරීමට බලපවත්නා නොහැකියාවයි. මෙය තුන්වන පුද්ගලයෙකු සහ පළමුවන පුද්ගලයෙකු අතර ඇතිවන පරතරය නිර්මානය කරමින් චාමර්ස් 1995 විසින් සංකේතීය ලෙස වාත්තු කරන ලද විඥානය පිළිබඳ දෘඨ ගැටළුව කරා කැඳවා යයි. තවත් වඩාත් අප්‍රචලිත ප්‍රති තර්කයක් වන්නේ භෞතික විෂය ක්ෂේත්‍රය එය තුළම හේතුඵල සම්බන්ධතා ඇසුරෙන් සංවෘත වීමයි. චලිතයේ මූලික සමීකරණ ඒවා පර්යේෂණාත්මකව හෝ සංඛ්‍යාත්මකව හෝ විශ්ලේෂණාත්මකව හෝ විසඳුමක් කරා පිය මනින්නට ඇවැසි සීමා තත්වයන් හෝ මුල් තත්වයන් සැපයීම ස්වභාදහමේ මූලික නියමයන් ඔස්සේ නොසැපිරෙයි. මෙම හේතුඵල පරතරය සම්භාව්‍ය භෞතිකය මෙන්ම ක්වොන්ටම් භෞතිකය ද මූලික වශයෙන් අවිනිශ්චිතතාවයට යොමු කර කඩාවැටීමට සැළැස්වීම අභියෝගාත්මක වේ. තෙවන පෙළ ප්‍රති තර්කයක් වන්නේ භෞතික පැහැදිලි කිරීමක් තුළ වන තත්සම පැවැත්ම සහ ප්‍රත්‍යුත්පන්න (සලකනු ලබන මොහොත) සංකේතනය පිණිස ඇති දුෂ්කරතාවය යි.

කෙසේ වුවද මානසික සහ ද්‍රව්‍යමය තත්වයන් අතර ඇති සෘජු සම්බන්ධතා ඌණිත නොවන ආකාරයේ ප්‍රත්‍යක්ෂ කර ගැනීමට ද හැකිය. එනම් ප්‍රාදූර්භූත වීමේ විචල්‍යයන් විශාල ප්‍රමාණයක් හැඳිනීම විශිෂ්ට උදාහරණයෝ වෙති. මානසික තත්වයන් සහ/හෝ ගුණ ද්‍රව්‍යමය මොළයේ ප්‍රාදූර්භූතවන්නේ යැයි සැලකිය හැකි නම් ඒවා ගවේෂණයට හෝ අවබෝධයට අවශ්‍යතාවයක් හෝ ප්‍රමාණවත් බවක් නොපවතී. මෙය ද්වෛතවාදය කරා තල්ලු වීමක් හෝ එනම් කාටිසියානු ද්වෛතවාදයට ත් වඩා ස්වල්ප ලෙස විප්ලවකාරී සහ ව්‍යාජෝක්තියෙන් බර පෙදෙසකට යාමකි. මෙයින් ශේෂ වන්නේ කිසිවෙකු මානසික තත්වය ද්‍රව්‍ය තත්වයක් තුළට ඌණනය කිරීමෙනි. ද්වෛතවාදී ආස්ථානයෙන් මනස සහ ද්‍රව්‍ය පිළිබඳව සාකච්ඡා කිරීමේ දී මානසික සහ ද්‍රව්‍ය අතර හේතුවාදී සම්බන්ධතා පැහැර හැරිය නොහැකි ගැටළුවකි. විශේෂයෙන් හේතුඵලාත්මක ගුණ ලෙස මොළයේ තත්වයන් මානසික තත්වයන් සමග ගවේෂණය කිරීම වර්තමානයේ ආකර්ෂණයට ලක්වූ ක්ෂේත්‍රයකි.

අප ඉහත දැක්වූ ද්‍රව්‍ය සහ මනස අතර සරල සම්බන්ධතාවයට විකල්ප වශයෙන් වක්‍ර ලෙස එම සම්බන්ධතාවය විදහා දක්වන මේ ආකෘතිය ද තුන්වැනි වර්ගයක් හෝ විචල්‍යක් අනුසාරයෙන් භාවිතා කළ හැකිය.

මෙම තුන්වැනි වර්ගය එනම් mame විචල්‍යය යනු ද්‍රව්‍ය හෝ මානසික තත්වයන් කෙරෙන් උදාසීන විචල්‍යයක් ලෙස බොහෝ විට හඳුනා ගැනේ. එනම් භෞත-මානසික වශයෙන් උදාසීන ලෙසයි. මෙම දෙවැනි ආකෘතියේ ගුණාත්මක ලක්ෂණයක් නම් එය වෙන් කළ නොහැකි ලෙස ද්‍රව්‍ය සහ මනස අතර බැඳීමත් ඒ ද්විත්වයේ පවතින වෙනස්කම් කෙරෙහි ඌණිත සහ ප්‍රාදූර්භූත වීමේ ශක්‍යතාවයන් ට පසුබිම් යථාර්ථයක් සපයන බවයි. මේ පිළිබඳ වැඩිදුර පැහැදිලි කිරීමක් 4.6 කොටසේ එයි.

එබඳු ද්විත්ව දෘශ්ටි විකල්පනයක් ඔස්සේ එනම් ප්‍රධාන දහරාවේ වඩාත් ඉස්මත්තට නොපැමිණි ආඛ්‍යානයක් වෙත දීර්ඝ සම්ප්‍රදායක් ඇත්තේය. එහි මුලාකෘති ස්පිනෝසා දක්වාම විහිදේ. දහනමවැනි සියවසේ මුල් කාලීන මනෝභෞතික ප්‍රවාදයන් ෆෙෂ්නර් 1861 හා වන්ඩ්ට් 1911 විසින් දෘශ්ටිමය ලෙස ග්‍රහණය කොට තිබුණි. දාර්ශනික සන්තති විෂය ක්ෂේත්‍ර යේ නූතන පුරෝගාමියකු වන වයිට්හෙඩ් මානසික සහ භෞතික ද්විධ්‍රැවයන් තත්‍යය අවස්ථාවල ධ්‍රැවයන් ලෙසත් ඒවා එකිනෙකින් ලෝකෝත්තර ස්වාභාවයේ ද්විධ්‍රැවතාවයන් ප්‍රදර්ශනය කරන බවත් පවසා ඇත. අනන්‍යතා සිද්ධාන්ත ලෙස ද සම්ප්‍රදායික එළඹුම් හඳුන්වා දී ෆෙයිගල් [1967] සහ ස්මාර්ට් [1963] ඒවායේ අනිවාර්ය ලක්ෂණ වූ මානසික සහ ද්‍රව්‍යමය තත්වයන් එකිනෙක අනන්‍ය මධ්‍යම තත්වයන් ලෙස ද අර්ථකතනය කොට ඇත්තේ වෙනස් පර්යාදර්ශීන් ලෙසය. යුංග් සහ පෝලි [1955] ද මේ සම්බන්ධයෙන් වෙනස් අදහස් යෝජනා කොට ඇත්තේ වෙසෙසින් යුංග් ගේ දැක්මට අනුව මානසික-භෞතවේදය නිශ්ක්‍රිය පුරාකෘතික පිළිවෙලින් යුත් බවත් බෝම් සහ හිලේ විසින් යෝජිත වන්නේ සංශ්ලේෂණාත්මක පිළිවෙලකින් විවිධ මානසික සහ ද්‍රව්‍යමය මානයන් නිරවුල් කරගත හැකිය යනුවෙනි.

වෙල්මන් [2002/2009] මෑත කාලීනව ඉදිරිපත් කර ඇති මනෝවිද්‍යාත්මක ප්‍ර වේශය වන්නේ ඒ ආකාරම වූ අනුභූතික ද්‍රව්‍යාත්මක අනුබලයකින් කරනු ලබන විග්‍රහයකි. ස්ට්‍රෝසන් [2003] දී යෝජනා කර ඇත්තේ යථමය ද්‍රව්‍යවාදයකින් උත්පත්තිය ලැබුවා වූ ඒ ආකාරම වූ ආකෘතියකි. තවත් ආකාරයකට ද්වෛතවාදී චින්තාවලි විග්‍රහයක් ගෙන එන චාමර්ස් [1996] පවසන්නේ මානසික-භෞතිකවේදය තොරතුරු හසුරවා ගැනීම පිළිබඳ ප්‍ර වේශයකින් එහි යටිතලය වඩාත් නිරාවරණය කරගත හැකි ආකෘතියක් බවට පත් කර ගත හැකිය යන මතයයි.

මේ විෂයේ වැඩිදුරක් යාමට මත්තෙන් අප අවධාරණය කරගත යුත්තේ බොහෝ වර්තමාන එළඹුම් ප්‍රථම පුද්ගල සහ තෙවන පුද්ගල පර්යාලෝකනයන් කෙරෙහි දක්වන උනන්දුව ද්‍රව්‍ය සහ මනස අතර හිදැසට දක්වන උනන්දුවට වඩා විෂය වශයෙන් ආකර්ෂණීය වී ඇති බවය. එම අපේක්ෂාවෙන් අවලෝකනය වන මෙම විෂය වඩාත් නැඹුරු වන්නේ ක්වේලියා නම් වූ ක්ෂණික මනස් අත්දැකීම්වලට එදිරිව චර්යාත්මක පාර්ශවය සළකා බැලීමටත්- ස්නායු සහ ජීව භෞතික තත්වයන් අතර හට ගන්නා විෂමතාවයන් පිරික්සීමත්ය. දෘඨ ගැටළුව ලෙස නාමික වූ මනස පිළිබඳ පර්යේෂණාත්මක පෙළඹවීම විසින් පුරවා දැමීමට තැත් දරන්නේ ප්‍රථම පුද්ගල අත්දැකීම සහ තෙවන පුද්ගල නිර්වේෂණ අතර පරතරය වේ. මේ වත්මන් දායකත්වය විසින් මානසික විඥාන තත්වයන් ව්‍යංගයෙන් අනුමාන කරන්නේ ඒවා ප්‍රථම පුද්ගල අත්දැකීම් ලෙස වටහා ගැනුමටය. කෙසේ වෙතත් මෙය විඥානය නිරවද්‍ය ලෙස අර්ථදක්වා ගැනීමේ ගැටළුව විසඳා ඇතැයි කීමට හැකි තත්වයක් නොවන බැව් අමතක නොකළ යුතුය. අවසාන වශයෙන් එය අවම තරමින් මානසික තත්වයන් අරුත්දැක්වීම ද්‍රව්‍ය තත්වයන් පිළිබඳ විග්‍රහ කරගැනීම උදෙසා වන දුෂ්කරතාවයට වඩා ඉමහත් දුෂ්කර කාර්යයක් බැව් හෝ සනාථ කරනු ඇත.

මීළඟට 3 කොටසින් ස්නායු(නියුරො)-භෞතවේදී විග්‍රහ තලයන් සාකච්ඡාවට ගැනෙනු ඇත.

දර්ශනය පිළිබඳ ස්ටැන්ෆර්ඩ් විශ්වකෝෂයේ ලිපියක පරිවර්තනයකි.
2004 නොවැම්බර් 30 මුල්වරට පළ වූ මෙම ලිපිය 2011 මැයි 19 වන දින සංශෝධන සහිතව නැවත පලකරන ලද්දකි.

මෙම ලිපියේ හිමිකම් Harald Atmanspacher වෙතය.
Copyright © 2004 Harald Atmanspacher [email protected]
පාරට දාන ඩැයිවර් ඩෝසන් පාර්ක් කලේ 7/01/2011 12:29:00 PM